Friday, March 29, 2024

ගොකරැල්ලේ අයිය මලෝ දෙදෙනෙක් වැලි ලොරියකට යටවී මරුට.

Must read

gokarella_accident

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ගොකරැල්ල ප‍්‍රදේශයේදී, වැලි ප‍්‍රවාහනයේ යෙදුණු ටිපර් රථයක සහ බහාලුම් ප‍්‍රවාහන රථයක (කන්ටේනර්) ගැටීමෙන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු ඊයේ රාත‍්‍රියේ (20 දා) ජීවිතක්ෂයට පත්වූහ.

ඊයේ රාති‍්‍ර 11.30 ට පමණ සිදු වූ මෙම අනතුරෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ ගොකරැල්ල, ගල්ළිදකොටුව ප‍්‍රදේශයේ පදිංචි ජයකොඩි ආරච්චිලාගේ රංජිත් ජයකොඩි ( 44 ) සහ ජයකොඩි ආරච්චිලාගේ විජය කුමාරතුංග ( 43 ) නැමති අයවලුන්ය. මිය ගිය දෙදෙනාම තිදරු පියවරුන් වෙති.

ඉබ්බාගමුවේ සිට ගොකරැල්ලේ පිහිටි සිය නිවෙස් බලා යමින් සිටි සොහොයුරන් රැගත් යතුරුපැදිය ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථය පසුකර යන්නට උත්සාහ කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. එවිටම විරුද්ධ දිශාවෙන් ඉදිරියට පැමිණි ටිපර් රථයේ ගැටීමට ගිය යතුරුපැදිය, ඉන් වළක්වාගැනීම සදහා වම් පසට ගැනීමේදී කන්ටේනර් රථයේ මැද කොටසේ වැදී දෙසොහොයුරන් ටිපර් රථය යටට විසි වී ගොස් තිබේ. ටිපර් රථ රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් ටිපර් රථයේ ඇමිණී තිබූ යතුරු පැදියද සමග මීටර් පනහක පමණ දුරක් ඉදිරියට ධාවනය කර ඇති බවද පොලිසිය කියයි. ටිපර් රථයට හසුවීමෙන් බරපතල තුවාල ලැබූ සහෝදරයින් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ඇති අතර සිදුරු වූ යතුරු පැදි ඉන්ධන ටැංකියෙන් ඉන්ධන පිටතට ගලාඒම හේතුවෙන් යතුරු පැදියට ක්ෂණිකව ගිනි ඇවිලී තිබේ. යතුරු පැදිය ටිපර් රථයේ රෝද අතර සිර වී තිබියදී ගිනි ගැනීම නිසා ටිපර් රථයටද ගින්න ඇවිලී ඇති අතර එම අවස්ථාවේදි එහි රියදුරු රථයෙන් එළියට පැන දිවි බේරාගෙන තිබේ. පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් විසින් ටිපර් රථය තුළ සිරවී තිබූ යතුරු පැදිය දොඹකරයක ආධාරයෙන් ඉවත්කළ අතර ඒ වනවිට ගින්නට හසු වූ යතුරු පැදිය සම්පූර්ණයෙන්ම දැවී ගොස් තිබිණි. ටිපර් රථයේ ඉදිරි කොටසද ගින්නට හසුවීමෙන් සම්පූර්ණයෙන්ම දැවී ගොස් තිබූ අතර එම රථයටද දැඩි අලාභහානි සිදු වී තිබිණි.

යතුරු පැදිය පැද වූ තැනැත්තාගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවට සැකකෙරෙන අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු සහ බහාලුම් ප‍්‍රවාහන රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එම්. හේරත් මහතාගේ උපදෙස් මත, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් කේ ජයරත්න මහතාගේ මෙහෙයවිමෙන්, පොලිස් සැරයන් මල්ලව (31062), පොලිස් කොස්තාපල් සුමිත් (45988), බණ්ඩාර (50025), සුජීව (40073), නිමලරත්න (17568) සහ ෂෙල්ටන් (58776) යන නිලධාරිහු වැඩිදුර විමර්ශණ සිදුකරති.

අදාල අනතුර පිළිබද වීඩියෝ දර්ශණ සහ ලොරිය හා යතුරු පැදිය ගිනිගන්නා අවස්ථාවේදී එම ස්ථානයේ සිටි අයෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් රූගත කර තිබූ දර්ශණ පහත දැක්වෙයි.


gokarella_accident_2

gokarella_accident_1

gokarella_accident_3

gokarella_accident_5

gokarella_accident_4

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article