Thursday, April 25, 2024

මැතිවරණ නිලධාරින්ගේ නිරීක්ෂණය මැද කුරුණෑගල නගර සංවර්ධන සැලැස්ම එළිදකී.

Must read

kurunegala_dev_plan

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් දෙදෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (03දා) පැවැති කුරුණෑගල නගර සංවර්ධන දළ සැලැස්ම එළිදැක්වීමේ උත්සවය, මැතිවරණ ප‍්‍රචාරක වැඩසටහනක් බවට පැමිණිලි ලැබී තිබීම හේතුවෙන් එම උත්සවය පැවැත්වෙන ආකාරය නිරීක්ෂණය කිරීම සදහා මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක්ද එම උත්සවයට සහභාගි වී සිටියහ.

අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස්. බී. නාවින්න සහ ප‍්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කුරුණෑගල බ්ලූ ස්කයි හෝටලයේදී පෙරේදා රාත‍්‍රියේ මෙම උත්සවය පැවැත්විණි. මෙම උත්සවය සදහා ආරාධනා ලැබූ කුරුණෑගල නගරයේ ව්‍යාපාරිකයින්, විද්වතුන් සහ වෘත්තිකයින් පිරිසක්ද ඊට සහභාගි වී සිටියහ.

මෙම උත්සවය මැතිවරණ ප‍්‍රචාරක වැඩසටහනක් බවට පිළිබදව පැමිණිලි ලැබී තිබීම හේතුවෙන් එම වැඩසටහන අත්හිටුවන ලෙසට කුරුණෑගල සහකාර මැතිවරණ කොමසාරිස් කේ. එස්. ජේ. මාධව මහතා විසින් එහි සංවිධායකයින් වෙත පෙරේදා දහවල් දැනුම් දී තිබිණි. අදාල වැඩසටහන කිසිදු පක්ෂයක් ප‍්‍රවර්ධනය කිරීමට සැලසුම් කළ එකක් නොවන බවටත්, ඒ සදහා කිසිදු අපේක්ෂකයෙකු සහභාගි නොවන බවටත්, නගරයේ සංවර්ධනය පිළිබදව සාකච්ඡා කිරීම හැර මැතිවරණයට අදාල කිසිදු ප‍්‍රචාරණ කටයුත්තක් එහිදී සිදුනොවන බවටත් උත්සව සංවිධායකයින් විසින් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත පෙරළා දැනුම් දී තිබිණි.

එම දැනුම්වත් කිරීමෙන් පසුව සැලසුම් කළ අයුරින්ම උත්සවය පවත්වන්නට එහි සංවිධායකයින් විසින් කටයුතු කළ අතර උත්සවයේ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීම සදහා මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක්ද පුද්ගලිකවම එම අවස්ථාවට සහභාගි වී සිටියහ. උත්සව ආරම්භයේ සිට අවසානය දක්වාම එහි අසුන්ගෙන සිටි මැතිවරණ නිලධාරින් විසින් උත්සවයේ ඇතැම් අවස්ථා ඡායාරූප ගතකළ ආකාරයද දැකගත හැකිවිය. උත්සවය ඇමැතූ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාද ප‍්‍රකාශ කළේ, තමන්ට කියන්නට බොහෝ දේ ඇති නමුත් මෙම උත්සවය දෙස බොහෝ දෙනෙකු බලා සිටින බැවින් ඒ කිසිවක් නොකියන බවය.

මැතිවරණ ප‍්‍රචාරක කටයුත්තක් බවට පත්නොවන අයුරින් උත්සවය හසුරුවාගැනීමට එහි සංවිධායකයින් විසින් මහත් වෙහෙසක් දැරූ අතර එදින එළිදැක්වුණු කුරුණෑගල නගර සංවර්ධන දළ සැලැස්ම ඇතුළත් පොත් පිංච පවා පිරිනැමුණේ මුලසුන හෙබ වූ ප‍්‍රධාන ආරාධිතයින් කිහිපදෙනෙකු වෙත පමණි. මැතිවරණ නිලධාරින්ගේ මැදිහත්වීම හේතුවෙන් මෙම උත්සවයේදී ප‍්‍රදර්ශණය කිරීමට නියමිතව තිබූ වීඩියෝ දර්ශණ කිහිපයක් සහ කථිකයින්ගේ කතාවලට ඇතුළත් කර කරුණු කිහිපයක්ද එහි සංවිධායකයින් විසින් ඉවත් කරනු ලැබූ බවද වාර්තා වෙයි. කෙසේවෙතත් මැතිවරණ නිලධාරින්ගේ හෝ වෙනත් පාර්ශ්වයක බාධාවකින් තොරව උත්සවයේ කටයුතු අවසන් විය.

එම උත්සවයේ අවස්ථා කිහිපයක් වයඹ ටුඩේ කැමරා කාචයෙහි මෙලෙස සටහන් විය.

kurunegala_dev_plan_1

kurunegala_dev_plan_2

kurunegala_dev_plan_4

kurunegala_dev_plan_3

kurunegala_dev_plan_5

මැතිවරණ නීතිය සිහිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සිය කතාව සීමා කරගත් අයුරු පහත වීඩියෝවෙන් දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article