Wednesday, April 24, 2024

මාල කඩන්නෝ තව තුනක් වැල්ලවින් අල්ලයි.

Must read

 

wellawa_robers

වැල්ලව පොලිස් වසම තුළ යතුරුපැදියකින් සැරිසරමින් රන්මාල කැඩීමේ යෙදුණු පුද්ගලයින් තිදෙනෙකු සහ ඔවුන් විසින් පැහැරගන්නා ලද රන්මාල තුනක් ද අදාල අපරාධ සිදු වී පැය කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට වැල්ලව පොලිසිය පෙරේදා (03 දා) පස්වරුවේ සමත්විය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලව, තල්විට ප‍්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි. සැකකරුවන් වයස අවුරුදු 25 සහ 30 අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි. කැකිරාව, ධාතුසේනපුර පදිංචිකරුවෙකු වන එක් සැකකරුවෙකු තල්විට ප‍්‍රදේශයේ පිහිටි සිය ඥාතියෙකුගේ නිවසේ නැවැතී සිටින අතරතුරදී මාල කැඞීමේ යෙදී ඇති බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් අයෙකු බැකෝ යන්ත‍්‍ර ක‍්‍රියාකරුවෙකු ලෙසත්, තවත් තරුණයෙකු වෑද්දුම් ශිල්පියෙකු ලෙසත් සේවය කරමින් සිටින බවද හෙළිවී තිබේ.

රංගම – බමුණාපොත, ගනේවත්ත – පන්වැව සහ වැල්ලව – මකුල්වැව යන ප‍්‍රදේශවලදී පෙරේදා උදෑසන කාලයේදී රන්මාල 3 ක් කඩාගෙන ඇති බවට එදින පස්වරු 3 පමණ වනවිට වැල්ලව පොලිසිය වෙත පැමිණිලි තුනක් ලැබී තිබේ. ඒ පිළිබදව කඩිනමින් ක‍්‍රියාත්මක වූ වැල්ලව පොලිසියේ නිලධාරින් විසින් යතුරුපැදියකින් පලායමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ගනේවත්ත, බෙහෙත්වත්ත ප‍්‍රදේශයේදී පළමුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව තල්විට ප‍්‍රදේශයේදී අනෙක් සැකකරුත් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් විසින් මාල කැඩීම සදහා යොදාගත් බව කියන නවීන පන්නයේ යතුරුපැදියක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පැහැරගත් රන්මාලවල වටිනාකම රුපියල් එක් ලක්ෂ හැත්තෑපන් දහසක් වන බවද පොලිසිය කියයි. මෙම පැහැරගැනීම්වලට අමතරව සැකකරුවන් විසින් තවත් මාල කැඩීම් සිදුකර ඇතිදැයි අනාවරණය කරගැනීම සදහා පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතාගේ උපදෙස් මත, වැල්ලව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්ත හේරත් මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලංසකාර, පොලිස් සැරයන් පේ‍්‍රමතිලක (9087), පේ‍්‍රමතිලක (22107), විජේසේන, (30185), හේරත් (21802), කාන්තා පොලිස් කොස්තාපල් ලක්මාලි (2524) සහ පොලිස් රියදුරු රාජපක්ෂ (30635) යන නිලධාරිහු සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති  ඉහත  ඡායාරූපය මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න .)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article