Friday, March 29, 2024

ඒකාබද්ධයේ විරෝධයෙන් එජාපයට දුන් සෞඛ්‍ය සේවක පත්වීම් නවතී ?

Must read

ayg_2017_3_31ගුරු සමතුන් පළාත් සභාව උසාවි ගෙනියයි.

ඉදිරියේදී එළැඹෙන්නේ වයඹ පළාත් සභාවට නඩුහබ වලින් අඩුවක් නොවන කාලයක් බව පෙන්වන ලකුණු දැන් දැන් පහළවෙමින් තිබේ. වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පත්කිරීමට රේඛීය අමාත්‍යංශයේ මැදිහත්වීම අභියෝගයට ලක්කරමින් වයඹ අධ්‍යාපන ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ දැනට සති දෙකකට පමණ ඉහතදීය. වයඹ පළාත් සභාව රේඛීය අමාත්‍යංශයට එරෙහිව නඩුකීමට එලෙස සැරසෙද්දී වයඹ පළාත් සභාව එරෙහිව වෙනත් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු වී තිබුණේ පසුගිය සතියේදීය. ගුරු පත්වීම් සදහා බදවාගැනීමේදී වයඹ පළාත් සභාවෙන් තමන් වෙත අසාධාරණයක් සිදු වූ බව කියමින් ගුරු විභාග සමතුන් පිරිසක් විසින් වසරකට ආසන්න කාලයක් තිස්සේ ගෙනයමින් සිටින අරගලය අන්තිමේදී පළාත් සභාවේ නිලබලධාරීන් උසාවියේ විත්ති කූඩුවට නංවන තැන දක්වාම දුරදිග යවමින් එම නඩුව පවරා තිබුණේ ගුරු විභාග සමතුන්ගේ එකමුතුව විසිනි. අසාධාරණයට ලක් වූ බව කියන මෙම ගුරු විභාග සමතුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණේ පසුගිය 15 වැනිදාය. සියයකට ආසන්න උපාධිධාරී ගුරු විභාග සමතුන් පිරිසක් පෙත්සම්කරුවන් ලෙස නම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මෙම පෙත්සමෙහි පැමිණිලි පාර්ශ්වයේ නිතිඥවරයා ලෙස කටයුතු කරන්නේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණ විසිනි. ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම විභාගකිරීම පසුගිය සදුදා ආරම්භ විය. පෙත්සම් විභාගය ඉදිරියට පවත්වාගෙනයාමට තීරණය කළ විනිසුරු මඩුල්ල විසින් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින වයඹ පළාත් අධ්‍යාපන බලධාරින්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට නියෝග කරමින් එදින නොතිසිද නිකුත් කළේය. ඒ අනුව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසේකර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා, වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්, පද්මිණි කාරියවසම්, කොමිසමේ සභාපති මංගල රණරාජා සහ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනාට මෙන්ම පළාත් ප‍්‍රධාන ලේකම් පී. බී.එම්. සිරිසේන යන වයඹ පළාත් සභාවේ නිලධාරින්ට ජුනි මස 16 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට වාචික ප‍්‍රකාශ ලබාදිය යුතු බවට ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් වැඩිදුරටත් නියෝග කළේය.

එජාප මන්ත‍්‍රීවරු අලි අමාරුවක.

වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය සදහා බදවාගැනීමට නියමිත සෞඛ්‍ය සේවක පත්වීම් සම්බන්ධයෙන් ඉකුත් 16 වැනිදා පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී හටගත් වාද විවාද පිළිබදව පසුගිය සතියේ අඵ යට ගිනි පිටුවෙන් හෙළිකෙරිණි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙන් තමන්ට සහය නොලැබෙන තත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ සහය හෝ ලබාගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන් වෙතද සෞඛ්‍ය සේවක පත්වීම් ලබාදීමට සිදුවන බවට ඇමැති ලක්ෂ්මන් වේඩරුව කළ ප‍්‍රකාශයක් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම රත්කරවීමට සමත් විය. ඇමැති වේඩරුවගේ එම තීන්දුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් දැඩි ලෙස හඩ නැගූ අතර එජාප මන්ත‍්‍රීවරුන් වෙත පත්වීම් ලබාදීම ඔවුහු තරයේ ප‍්‍රතික්ෂේප කළහ. ඒකාබද්ධයෙන් නැගුණු දැඩි විරෝධය හේතුවෙන්දෝ පසුගිය සතිය වන විට ඇමැති වේඩරුවගේ කසුකුසු තීරණයෙහි යම් වෙනසක් සිදු වී තිබූ බව පළාත් සභාව පැත්තෙන් නැගිණි. එජාප මන්ත‍්‍රීවරුන් වෙතද සෞඛ්‍ය සේවක පත්වීම් එක ගණනේ ලබාදීමට ඇමැති වේඩරුව මුලදී කටයුතු කර තිබූ අතර ඒ අනුව එජාප මන්ත‍්‍රීවරුන් විසින් නම් කර එවූ පිරිස්ද සම්මුඛ පරීක්ෂණය සදහා කැදවා තිබූ බවත් වාර්තා වෙයි. ආණ්ඩු පක්ෂය සහ එජාපය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ගේ නිර්දේශ මත සෞඛ්‍ය සේවක පත්වීම් සදහා යොමුකළ අයදුම්කරුවන් සියලුදෙනාම වෙනසකින් තොරව සම්මුඛ පරික්ෂණවලට කැදවූ නමුත් එජාප මන්ත‍්‍රීවරුන් දැන් කියන්නේ අදාළ අයදුම්කරුවන් අතරින් රැකියා ලබාදීම සදහා තෝරාගෙන ඇත්තේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් යොමුකළ අයවලුන් පමණක් බවය. තමන් වෙත ලබා දී තිබූ එකම එක සෞඛ්‍ය සේවක පත්වීමද නොලැබෙන තැනට වැඩකටයුතු සිදු වී ඇති බවට එජාප මන්ත‍්‍රීවරුන් දැන් මැසිවිලි නගමින් සිටිති. තමන්ට සිදු වූ අසාධාරණය පිළිබදව ඇමැති ලක්ෂ්මන් වේඩරුව අමතා කරුණු විමසූ එජාප මන්ත‍්‍රීවරුන්ට වේඩරුව ප‍්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ගේ දැඩි විරෝධය හේතුවෙන් එජාපය වෙත සෞඛ්‍ය සේවක පත්වීම් පිරිනැමීම අත්හිටුවන්නට සිදු වී ඇති බවකි. සෞඛ්‍ය සේවක පත්වීම් ලබාදෙන බවට පොරොන්දු වී සම්මුඛ පරීක්ෂණ සදහා පිටත්කර යැවූ සිය ආධාරකරුවන්ගේ මුහුණ බැලීමටවත් නොහැකිවන ලෙස තමන් අසරණ වී ගිය නමුත් විපක්ෂයේ එක්තරා බලවතෙකුට නම් එවැනි අපහසුතාවයක් සිදු වී නොමැති බව විපක්ෂයේ සෙසු මන්ත‍්‍රීවරු දැන් කියති. තමන්ට ලබාදුන් එකම එක සෞඛ්‍ය සේවක පත්වීමද එලෙස කැපී ගොස් තිබූ නමුත් එම බලවතා සම්බන්ධයෙන් නම් එවන් තීරණයක් වලංගු වී නැති බවත්, අදාල බලවතා විසින් යොමුකළ අයදුම්කරුවන් කිහිපදෙනෙකුටම කිසිදු උපද්‍රව්‍යකින් තොරව රැකියාව ලබාගැනීම සදහා අවස්ථාව උදා වී ඇති බවද අපහසුතාවයට පත් මන්ත‍්‍රීවරුන්ගේ චෝදනාව වෙයි. විපක්ෂ මන්ත‍්‍රීවරුන් දැන් උත්සාහ කරමින් ඉන්නේ සෞඛ්‍ය සේවක පත්වීම් තමන්ට නොලැබෙන්නටත්, අදාල බලවතාට ලැබෙන්නටත් තරම් හේතු වූ ඇති අරුම පුදුම සම්බන්ධය සොයා ගැනීම පිණිසය.

මහ ඇමැතිගෙන් වයඹ ප‍්‍රධාන ලේකම්ට කේක් කටක් !

වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායකගේ උපන්දිනය යෙදී තිබුණේ පසුගිය 22 වැනිදාටය. එදින පැවැත්වෙන මහජන දිනය සදහා සහභාගිවීමට ප‍්‍රධාන අමාත්‍යංශය වෙත පැමිණි ධර්මසිරි රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පෙර ආණ්ඩුකාර කාර්යාලය භූමියේ පිහිටි බෝධිය වෙත ගොස් එහි පැවැති බෝධි පූජාවකට සහභාගි විය. බෝධි පූජාව අවසන් කර ප‍්‍රධාන අමාත්‍යංශය වෙත පැමිණි ධර්මසිරි වෙනුවෙන් උපන්දින සැමැරුමක් සංවිධානය කර තිබුණේ ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලය විසිනි. උපන්දිනය සැමැරුම සදහා පුද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අමතරව වයඹ ප‍්‍රධාන ලේකම් පී. බී. එම්. සිරිසේන සහ ප‍්‍රධාන අමාත්‍යංශ ලේකම් විජිත බණ්ඩාරනායකද සහභාගි වී සිටියහ. නිල් පැහැයෙන් සැරසිලි කර තිබූ කේක් ගෙඩිය මත තිබූ ඉටිපන්දම් කිහිපය දැල් වූ ධර්මසිරි රැස්ව සිටි පිරිස විසින් ‘‘හැපි බර්ත් ඩේ ටූ යූ ඩියර් චීෆ් මිනිස්ටර්’යැයි කියද්දී උපන්දින කේක් ගෙඩියද කැපුවේය. පුද්ගලික ලේකම් තනතුර හොබවන දසනායක මහත්මිය වෙත පළමු කේක් කැබැල්ල කැවූ ධර්මසිරි දෙවෙනි කේක් කට වයඹ ප‍්‍රධාන ලේකම් පී. බී. එම්. සිරිසේනට සහ ප‍්‍රධාන අමාත්‍යංශ ලේකම් විජිත බණ්ඩාරනායකට කැවීය. පුද්ගලික කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම කේක් කවා සංග‍්‍රහ කිරීමෙන් පසු ගීතයක් ගැයීමට පිරිස විසින් ධර්මසිරිට ආරාධනා කළේය. ආරාධනාව පිළිගත් ධර්මසිරි අමරදේවයන් විසින් ගැයූ සසර වසර තුරු ගීතය ගයද්දී වයඹ ප‍්‍රධාන ලේකම්වරයා ඇතුලූ ලේකම්වරුන් මෙන්ම පුද්ගලික කාර්ය මණ්ඩල නිලධාරින් ඇතුලු සියලුදෙනා ඊට අත්වැල ඇල්ලූහ. අනතුරුව ධර්මසිරි පිටත් වී ගියේ ලිච්ඡවී ශාලාවේ පැවැති මහජන දිනයට සහභාගිවීමටය. එහිදී ප‍්‍රධාන අමාත්‍යංශ හරිත කවය විසින් ධර්මසිරිට අපූරු උපන්දින තෑග්ගක් ලබාදුන්නේ එහිදීය. ප‍්‍රධාන අමාත්‍යංශ හරිත කවය මගින් ධර්මසිරි වෙත තෑගි කළේ කොස් පැළයකි. ධර්මසිරිගේ උපන්දිනය නිමිතිකරගනිමින් එදින පස්වරුවේ තවත් උපන්දින සැමැරුමක් සංවිධානය වී තිබුණේ හෙට්ටිපොළ, ගල්කන්ද ළමා නිවාසයේදීය. ළමා නිවාසයේ වෙසෙන දරුවන් වෙනුවෙන් එදින රාත‍්‍රි භෝජන සංග‍්‍රහයක් පැවැත්වීමට කටයුතු කර තිබුණේ ධර්මසිරිගේ පුද්ගලික කාර්ය මණ්ඩලය විසිනි. දරුවන් වෙත ආහාර වේල සහ ත්‍යාග පිරිනැමීමද මහ ඇමැතිවරයාගේ අතින් සිදුවිය. රාත‍්‍රි ආහාරයෙන් පසුව ළමා නිවාසයේ දරුවන් වෙනුවෙන් සංගීත සාජ්ජයක් සංවිධානය කිරීමටද සංවිධායකයින් විසින් වගබලාගෙන තිබිණි. සාජ්ජය මද දුරක් ඇදීගෙන යද්දී ගීයක් ගැයීමට එක්වන ලෙසට ධර්මසිරිටද වාදක මණ්ඩලයෙන් ඇරයුම් ලැබිණි. ඇරැයුම පිළිගත් ධර්මසිරි වාදක මණ්ඩලයෙන් සැපයුණු තබ්ලා, සර්පිනා සංගීතයට මුලින්ම ගායනා කළේ එදින උදෑසන තම අමාත්‍යංශයේදී ගැයූ සසර වසර තුරු ගීතයයි. ඊට ලද ඉහළ ප‍්‍රතිචාරය හේතුවෙන් පුංචි කාලේ අපි සිංදු කියපු හැටි පැංචියේ මට මතකයි ගීතයත් ගායනා කිරීමට ධර්මසිරිට සිදුවිය. අනතුරුව දරුවන්ගෙන් සමාව අයදිමින් ධර්මසිරි සාජ්ජයෙන් නැගිට්ටේ වයඹ ජනකලා කේන්ද්‍රයට වසර විසිපහක් සම්පූර්ණවීම නිමිත්තෙන් ඒ වන විට කුරුණෑගල පිහිටි ජනකලා කේන්ද්‍ර පරිශ‍්‍රයේ පැවැත්වෙමින් ඇති පිරිත් පින්කමට සහභාගිවීමට ඇති බව කියමිනි.

උපුටාගැනීම – මව්බිම, 2017 මාර්තු 31 වැනි සිකුරාදා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article