spot_img
Friday, March 6, 2026
spot_img

කවුරුන් හෝ ආණ්ඩුවත් මා දැලක පැටළුවා ද?

Must read


මාදැල් ධීවරයන්ගේ සටන පසුගිය දා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවෙන් පසු නතර කරන ලදී. එහෙත්, ඒ ධීවරයන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලැබී නොවේ; ඉල්ලීම් ගැන සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විසඳුමක් දෙන බවට ජනාධිපතිවරයා ධීවරයන්ට දුන් පොරොන්දුවක් විශ්වාස කරමිනි. කවර ලෙස හෝ මා දැල් ධීවරයන් සත්‍යග්‍රහයෙන් ඉවත්වීම හොඳ දෙයකි. ඒ මේ රටේ පොඩි මිනිසාට කෑම සඳහා වැඩි වශයෙන් මාළු අල්ලන්නේ මාදැල් ධීවරයන් වන නිසා ය. මාදැල් ධීවරයන් මාළු ඇල්ලීම වෙනුවට සත්‍යග්‍රහවල වාඩි වී සිටියොත් රටේ සාමාන්‍ය ජනතාවට මාළු කන්න වෙන්නේ නැත. රට පුරාම මාදැල් අදින ස්ථාන 899ක ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බවට තොරතුරු තිබේ. එමෙන්ම මේ කර්මාන්තය අනාදිමත් කාලයක් තිස්සේ සිදු කෙරෙන සම්ප්‍රදායික ධීවර ක්‍රමයකි.

මා දැල් ධීවර කර්මාන්තයට අදාළව ධීවර පනත ප්‍රකාරව රෙගුලාසි පනවා ඇත්තේ 1984.11.06 වන දිනදී ය. ඒ එවක ධීවර අමාත්‍යවරයා වූ ෆෙස්ටස් පෙරේරා ගේ අත්සනිනි. මේ මාදැල් ධීවර නියෝග ගැසට් පත්‍රයෙන් ප්‍රසිද්ධ කර ඇත්තේ අංක 357/48 හා 1985.02.21 දිනැති ගැසට් පත්‍රයේ ය. මේ මාදැල් ධීවර නියෝග මේ වන විටත් වලංගුව පවතින අතර එම කර්මාන්තය නියාමනය කිරීම සඳහා යොදා ගන්නා ප්‍රධාන නිර්ණායකයන් ද වේ. මෙම මාදැල් ධීවර නියෝග අනුව මෙරට දිස්ත්‍රික්ක 13ක මාදැල් කර්මාන්තය සඳහා වෙන් කෙරුණු මාදැල් පාඩු හෙවත් මාදැල් වරායන් 899ක් හඳුනාගෙන ප්‍රකාශයට පත් කර ඇත. ඒ මාදැල් පාඩු එක් එක් දිස්ත්‍රික්කයට අදාළව පිහිටා ඇත්තේ මෙසේ ය:

පුත්තලම දිස්ත්‍රික්කය: 173

යාපනය දිස්ත්‍රික්කය: 144

මන්නාරම දිස්ත්‍රික්කය: 115

මඩකලපුව දිස්ත්‍රික්කය: 109

ත්‍රිකුණමලය දිස්ත්‍රික්කය: 90

මුලතිව් දිස්ත්‍රික්කය: 88

අම්පාර දිස්ත්‍රික්කය: 76

ගාල්ල දිස්ත්‍රික්කය: 30

කළුතර දිස්ත්‍රික්කය: 24

ගම්පහ දිස්ත්‍රික්කය: 15

හම්බන්තොට දිස්ත්‍රික්කය: 14

කොළඹ දිස්ත්‍රික්කය: 11

මාතර දිස්ත්‍රික්කය: 10

ඉහත මාදැල් පාඩු හඳුනාගෙන ඇති අන්දම අනුව ලංකාවේ මුහුදුබඩ සෑම දිස්ත්‍රික්කයකම මේ මාදැල් ධීවර කර්මාන්තය පවතින බවත්, බස්නාහිර සහ දකුණු පළාත් ආශ්‍රිතව කුඩා ප්‍රමාණයෙනුත්, උතුරු, නැගෙනහිර හා වයඹ පළාත්වල විශාල මාදැල් ප්‍රමාණයකුත් ක්‍රියාත්මකව පවතින බව පැහැදිලි වේ.

මෙසේ හඳුනාගෙන ප්‍රකාශයට පත් කර ඇති මාදැල් පාඩුව, ‘මාදැල් වරාය’ ලෙස ප්‍රකාශයට පත් කර ඇති සේම මාදැල් වරාය ප්‍රකාශයට පත් කිරීමේදී එම මාදැල් වරායට වෙරළේ සිට මුහුද දෙසට කොපමණ දුරක් අයත් ද, වෙරළ දිගේ කොපමණ දුරක් අයත් වේද, වෙරළේ සිට ගොඩබිම දෙසට කොපමණ දුරක් අයත් වේද යන විස්තර ඉතා පැහැදිලිව ප්‍රකාශයට පත් කර ඇත. මෙසේ ප්‍රකාශයට පත් කර ඇති සියලුම මාදැල් වරායන්වල මුහුදෙන් අයත් දුර ප්‍රමාණය උපරිම නාවික සැතපුම් එකහමාරකි. ගොඩබිම් දුරින් නම් එය කිලෝමීටර් 2.77කි. මේ දුර ප්‍රමාණය තුළ ඇතැම් මාදැල් වරායන් නාවික සැතපුම් එකයි කාලකට සීමා කර ඇත. එක් එක් මාදැල් පාඩුවට වෙරළ දිගේ වෙන් කර ඇති දුරෙහි වෙනස්කම් පවතී. කෙසේ වුවද වැඩිම දුරක් වෙරළ දිගේ වෙන් කර ඇති මාදැල් පාඩුව වන්නේ මීටර් 2011ක දුරක් වෙන් කර දී ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව දකුණ ධීවර පරීක්ෂක කොට්ඨාසයට අයත් රත්ගම ගමේ බණ්ඩාරවත්ත මාදැල් පාඩුවයි. අඩුම දුර වන මීටර් හැත්තෑ පහක දුරක් වෙන් කර ඇති මාදැල් පාඩු කිහිපයක්ම නිරීක්ෂණය වේ. වෙරළ තීරයේ සිට ගොඩබිම දෙසටත් යම් දුරක් මාදැල් පාඩුවලට වෙන් කර ඇත. එම දුරත් අදාළ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්කම් පවතී. වෙරළේ සිට ගොඩබිම දෙසට මාදැල් පාඩුවට වෙන් කර ඇති භූමි ප්‍රමාණය මීටර් හතරේ සිට හය සියයත් ඉක්මවන අයුරින් එක් එක් මාදැල් පාඩුව අනුව වෙනස් වී ඇත. මේ අනුව ප්‍රථමයෙන්ම තේරුම් ගත යුතුව ඇත්තේ රට වටේ මුහුද තිබුණාට, රටට කිලෝමීටර් 1600කටත් වඩා දිග වෙරළක් තිබුණාට ඒ හැම තැනකම සිතු සිතූ විදිහට මාදැල් ධීවර කර්මාන්තය කරන්නට නීතිමය ඉඩක් නැති බව ය. මේ වෙරළ තීරයේ ස්ථාන 899ක් පමණක් මාදැල් ධීවර කර්මාන්තයට වෙන් කර ඇති බවත් තේරුම් ගත යුතු අතර ඒ ස්ථානවල ද මාදැලක් නීත්‍යානුකූලව හෙළිය හැක්කේ වෙරළේ සිට මුහුද දෙසට නාවික සැතපුම් එකහමාරක් පමණ උපරිම දුරකට පමණි. මා පෞද්ගලිකව දන්නා පරිදි අම්පාර දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 115ක් දිග වෙරළ තීරයෙන් මාදැල් පාඩු හැත්තෑ හයකට වෙන්ව ඇත්තේ කිලෝමීටර් 12.65ක පමණ වෙරළ කොටසක් පමණි.

මාදැල් පාඩු/මාදැල් වරාය සීමාවන්ට අතිරේකව මාදැල් ධීවර නියෝගවල සඳහන් අනෙකුත් ප්‍රමිතීන් ද රැසක් ඇත. ඒ අනුව මාදැල් කර්මාන්තයේදී යොදා ගත යුතු අනුමත ධීවර යාත්‍රා හා ධීවර ආම්පන්න ද මේ නියෝගවල සඳහන් වෙයි. මාදැල් ධීවර කර්මාන්තයේ දී භාවිතා කළ හැකි ධීවර යාත්‍රා වර්ග තුනකි. ඒ මාදැල් පාරුව, මාදැල් වල්ලම සහ මාදැල් ඔරුවයි. මේ සියලුම යාත්‍රා වර්ග මිනිස් ශ්‍රමය යොදාගෙන යාත්‍රා කරන ඒවා මිස යාන්ත්‍රික ඒවා නොවේ. යාන්ත්‍රික යාත්‍රා මාදැල් වරාය තුළ භාවිතය තහනම් වේ. ධීවර ආම්පන්න ලෙස මාදැල් ධීවර කර්මාන්තයේ යොදා ගත හැක්කේ පහත සඳහන් ආම්පන්න පමණි:

මාදැල හෝ මහ දැල

හාල්මැස්සන් දැල

අඩසි දැල

සාල දැල

කරවලෙයි

තෝලි දැල

ඉහත පරිදි මාදැල් ධීවර නියෝග මඟින් පාලනය වන මාදැල් වරායක/මාදැල් පාඩුවක දැල් දැමීමේ අයිතිය ලියාපදිංචි කිරීමට ධීවර නියෝග නිකුත් වීමෙන් පසු මාස හයක කාලයක් ලබා දී ඇත. මෙසේ හඳුනාගත් මාදැල් පාඩු සියල්ලම පාහේ ධීවරයන් විසින් සාම්ප්‍රදායිකව මාදැල් කර්මාන්තයේ යොදා ගත් ස්ථාන නිසා ඒ ඒ මාදැල් පාඩුවට අනන්‍ය වූ පාරම්පරික මාදැල්කරුවෝ ද සිටියහ.

මේ මාදැල් පාඩුවල ධීවර කර්මාන්තයේ යෙදෙන මාදැල් හිමියන් දකුණු, බටහිර, වයඹ පළාත්වල මුහුද ප්‍රචණ්ඩ වන වාරකන් සමයේදී සන්සුන් මුහුදක් ඇති උතුරු නැගෙනහිර මුහුදු වෙරළට සංක්‍රමණය වී ඒ ප්‍රදේශවල මාදැල් ධීවර කර්මාන්තයේ යෙදීම සාමාන්‍ය සිරිත යි. මේ නිසා මේ මාදැල් පාඩුවල ලියාපදිංචි මාදැල්කරුවන් බොහොමයකට වයඹ, බස්නාහිර හා දකුණු පළාත්වල මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල ද මාදැල් කර්මාන්තයේ නිරත වීමේ පාරම්පරික මෙන්ම ලියාපදිංචි අයිතිය ද ඇත.

මා රාජකාරි කළ අම්පාර දිස්ත්‍රික්කයේ අරුගම්බේ ප්‍රදේශයේ ඇති මාදැල් පාඩු තුනේ දැල් දැමීමේ අයිතිය පිළිබඳව පසුගිය උතුරු නැගෙනහිර යුද්ධය පැවති සමයේ කිසියම් ආරවුලක් ඇති වී තිබුණි. දකුණේ තංගල්ල ප්‍රදේශයේ පදිංචි සාම්ප්‍රදායික මාදැල්කරුවෙකුගේ පාරම්පරික අයිතියේ මෙන්ම ලියාපදිංචි අයිතියේ ද තිබුණු මේ මාදැල් පාඩු ත්‍රස්තවාදීන්ගේ බලය පැවති කාලයේ ඔහුට පෞද්ගලිකව ක්‍රියාත්මක කිරීම කළ නොහැකි විය. ඒ නිසා මාදැල පවත්වාගෙන යාම නැගෙනහිර පළාතේ අයෙකුට නිල නොවන මට්ටමෙන් බද්දකට ලබා දී තිබුණි. මාදැල බදු ගත් අය වසර කිහිපයකට පසු ප්‍රදේශයේ නිලධාරීන්ගේ ද සහායෙන් මාදැල් පාඩුව තම අයිතියට පත් කර ගැනීමට උත්සාහ කළේ ය. පාරම්පරික හා ලියාපදිංචි අයිතිකරු ඊට එරෙහිව අරුගම්බේ මාදැල් පාඩු තුනේ මාදැල් දැමීමේ තම අයිතියට හබ කිරීමට එරෙහිව දිස්ත්‍රික් උසාවියේ නඩු පවරා තම අයිතිය තහවුරු කර ගත්තේ ය. එයින් පැහැදිලි වන්නේ මාදැල් කර්මාන්තයේ කිසියම් මාදැල් පාඩුවක දැල් දැමීමේ අයිතිය පාරම්පරිකව පවත්වාගෙන යා හැකි, සිවිල් අධිකරණය පිළිගන්නා ශක්තිමත් අයිතිවාසිකමක් බව ය.

මාදැල් ධීවර කර්මාන්තයේ යෙදෙන මාදැල්කරුවෙකු ලෙස ලියාපදිංචි වීමට ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම අනිවාර්ය සුදුසුකමකි. ශ්‍රී ලාංකිකයෙකු වූ පමණින් මාදැල්කරුවෙකු විය නොහැක; ඒ සඳහා මාදැල් ධීවර කර්මාන්තයේ යොදා ගත යුතු ධීවර යාත්‍රා, ආම්පන්න අවම ප්‍රමාණය තීරණය කළ හැකි වන ලෙස අවශ්‍ය මුදල් ද ශ්‍රමය ද සපයා ගත හැකි අයෙකු වීම ද අනිවාර්ය සුදුසුකමකි. එසේම මාදැල් පාඩුව අසල රජයේ ඉඩමේ පදිංචි වීමට, එනම් මා දැල් වාඩිය තැනීමට අවශ්‍ය බලපත්‍රය ගත හැකි අයෙකු වීම ද අනිවාර්ය සුදුසුකමක් වෙයි. මෙයින් පෙනී යන්නේ සාම්ප්‍රදායිකව මා දැල් කර්මාන්තයේ යෙදුණු අයට මාදැල් පාඩුවල ලියාපදිංචියට වැඩි ඉඩක් ලැබුණු බවයි. ලියාපදිංචි මාදැල්කරුවෙකු මාදැල් කර්මාන්තය අදාළ මාදැල් පාඩුව තුළ ක්‍රියාත්මක කිරීමට වාර්ෂික අවසර පත්‍රයක් ද දිස්ත්‍රික් ධීවර ව්‍යාප්ති නිලධාරියා වෙතින් ලබා ගත යුතු අතර ඒ සඳහා ගාස්තු ගෙවීම ද අවශ්‍ය වේ.

මෙසේ ලියාපදිංචි මාදැල් අයිතිකරුවෙකුගේ අයිතිය අහිමි වීමට බලපාන කරුණු කිහිපයක් ද මාදැල් නියෝගවල සඳහන් වේ. ඒවා නම්:

මාදැල් අයිතිකරුවෙකු සතු විය යුතු සුදුසුකම් නැති වීම.

පිට පිට වසර දෙකක් අවසර පත්‍ර නොගැනීම.

මාදැල් වාඩි අවසර පත්‍රය යම් හේතුවක් මත අහෝසි කිරීම.

තමන් වෙනුවෙන් ක්‍රියා කරන නාමිකයෙකු පත් නොකර (මා දැල්කරුවෙකුට අසනීප හෝ වෙනත් හේතුවක් මත තමා වෙනුවට ක්‍රියා කරන නාමිකයෙකු පත් කළ හැකිය) උරුමකරුවෙකු ද රහිතව මිය යාම.

මා දැල් පාඩුව කැමැත්තෙන්ම අත්හැරීම.

මා දැල් හිමිකරු මියගොස් මාස හයක් යන තුරු උරුමකරුවන් අයිතිය ලියාපදිංචියට නොඉල්ලීම.

යන කරුණු මත මාදැල් පාඩුව පුරප්පාඩු වන බව මාදැල් නියෝගවල සඳහන් වේ. කරුණු දෙස බැලීමේදී මා දැල් පාඩුවක් පුරප්පාඩු වීම යනු ඉතාමත් දුර්ලභව සිදුවිය හැකි කරුණක් පමණක් බව පැහැදිලි වනු ඇත.

දැනට වසර දහයකට පමණ ඉහතදී මා දැල් ධීවරකරුවන්ට තමන් කලක සිට ක්‍රමයෙන් මුහුණ දෙමින් සිටි ගැටලුවක් උග්‍ර තත්ත්වයට පත් විය. ඒ මා දැල් ඇදීම සඳහා අවශ්‍ය ශ්‍රම හිඟතාවයයි. මාදැල් පාඩුවකට සාමාන්‍යයෙන් මිනිස් ශ්‍රමය සපයන මිනිසුන් පනහක් හැටක් අවශ්‍ය වේ. මාදැල් ධීවර නියෝග අනුව ද සෑම මාදැල්කරුවෙකුම තමන්ගේ ශ්‍රමිකයින් පිළිබඳව නාම ලේඛනයක් පවත්වාගෙන යා යුතු විය. වෙරළබඩ ප්‍රදේශවල මාදැල් සඳහා සහාය වන ශ්‍රමිකයින් හිඟවීම ඇරඹුණේ ඊට වඩා පහසු ජීවන මාර්ගවලට ශ්‍රමික පිරිස් ආකර්ෂණය වීම නිසා ය. ගැඹුරු මුහුදේ බහුදින යාත්‍රාවල මත්ස්‍ය කර්මාන්තය දියුණු වීමත් සමඟ වෙරළබඩ ශ්‍රමිකයින් ඒ කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම, ත්‍රිරෝද රථ පැදවීම, සංචාරක කර්මාන්තයේ ශ්‍රමිකයින් ලෙස කටයුතු කිරීම, විදේශ රැකියාවලට ආකර්ෂණය වීම, සන්නද්ධ හමුදා වලට බැඳීම වැනි විකල්ප බහුලවත්ම මා දැල සඳහා ශ්‍රමිකයින් හිඟ විය. වී ගොවිතැනට ද වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට ද යම් මට්ටමකට මේ ශ්‍රමික හිඟතාවය බලපා ඇති අතර එහිදී වී ගොවිතැන ඊට විසඳුම දුන්නේ බිම් සැකසීම හා අස්වනු නෙලීම යාන්ත්‍රිකරණය කිරීමෙනි. මධ්‍යම ප්‍රමාණයේ වැවිලි බෝග වගාකරුවන් අද දවස වන විට මේ ශ්‍රම හිඟයෙන් දැඩිසේ පීඩා විඳිති. රබර් නිෂ්පාදනය බොහෝ දුරට අත්හැර දැමූ තත්ත්වයට පත් වීමට එක් ප්‍රධාන හේතුවක් ශ්‍රම හිඟයයි.

මෙසේ ශ්‍රම හිඟයට විකල්පය ලෙස මාදැල් ධීවර කර්මාන්තයට ට්‍රක්ටරයට සවිකළ ‘වින්ච්’ (Winch) එක යොදා ගැනීම දේශීයව සොයාගත් විසඳුමක් බව දැනගන්නට ඇත. දැනගන්නට ඇති පරිදි මීගමුව ප්‍රදේශයෙන් හඳුන්වා දුන් වින්ච් යන්ත්‍රය යොදා මා දැල් ඇදීම මාදැල්කරුවන් මුහුණ දුන් ශ්‍රම හිඟයට කදිම විසඳුමක් විය. 2015 දී යුරෝපා මත්ස්‍ය අපනයන තහනම ඉවත් වීමත් සමඟ දේශීය පාරිභෝගිකයින්ට මුහුණ දීමට සිදු විය හැකි මාළු හිඟයට විසඳුම ලෙස, මාදැල්කරුවන්ගේ ඉල්ලීම මත වින්ච් යොදාගෙන දැල් ඇදීමට පර්යේෂණ මට්ටමෙන් අවසරයක් ලබා දීමට ධීවර බලධාරීන් කටයුතු කර තිබුණි. එදා සිට වර්තමාන ජාතික ජන බලවේග රජය වින්ච් යන්ත්‍ර යොදා මාදැල් ඇදීම තහනම් කරන තුරු ඒ සඳහා කිසි බාධාවක් නොවීය. මා දැල්කරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල සටන් බිමකට යොමු කළේ එක් වරම පැන වූ ඔන්න ඔය තහනම් නියෝගයයි.

මා දැල්කරුවන් සත්‍යග්‍රහයේ යෙදෙමින් ඉල්ලුවේ වින්ච් යන්ත්‍රය තහනම් නොකරන ලෙසට ය. එසේ තහනම් කරන්නේ නම් සිය මාදැල් කර්මාන්තයට විකල්පයක් හඳුන්වා දෙන ලෙසට ය. මීට පිළිතුරු දෙමින් ධීවර බලධාරීන් ප්‍රකාශ කළේ වින්ච් යන්ත්‍රය යොදාගෙන දැල ඇදීමෙන් බලවත් පරිසර හානියක් වන බවකි. මිනිස් ශ්‍රමයෙන් දැල හෙළීමේදී හෙළන ප්‍රමාණය ඉක්මවමින් කිලෝමීටර් හතරක පමණ ඈතට දැල් දමා වින්ච් යන්ත්‍රයෙන් ඇදීම නිසා කොරල් පර කැඩී මත්ස්‍යයන් බෝවන ස්ථාන විනාශ වන බැවින් වින්ච් යොදා දැල් ඇදීමට ඉඩ දිය නොහැකි බව ධීවර බලවතෙකු මාධ්‍යයට පවසනු මම ද දුටුවෙමි. තවත් සමුද්‍ර බලධාරියෙකු මේ සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ වෙරළේ වින්ච් සවිකළ ට්‍රක්ටර් ගමන් කරවීම නිසා වෙරළේ ඇති කැස්බෑවුන්ගේ බිත්තර විනාශ වී දැවැන්ත පරිසර හානියක් වන බව ය. මේ තහනම සඳහා ධීවර ප්‍රජාවගේ යම් කොටසක විරෝධයක් මේ වින්ච් යන්ත්‍රවලට ඇති බව ද බලධාරීහු පෙන්වා දෙති.

මේවා අසා සිටි මට ධීවර කර්මාන්තය නියාමනය කරන බලධාරීන්ගෙන් පැහැදිලි කර ගැනීමට කරුණු කිහිපයක්ම මතු කිරීමට සිතුණි. ඒ මේවා ය:

1984 සිට මා දැල් ධීවර කර්මාන්තයට අදාළව ධීවර පනත යටතේ ඇමතිවරයා විසින් පනවා ඇති මාදැල් ධීවර නියෝග අංක 2 අනුව මාදැල් ධීවර කර්මාන්තය ධීවර නියෝගවල සඳහන් මා දැල් ධීවර වරායක් තුළ පමණක් කළ යුතු කර්මාන්තයක් ලෙස ප්‍රකාශයට පත් කර එම වරාය සීමාවෙන් පිටත මාදැල් හෙළීම තහනම් කර තිබෙනවා නේද? ඒ අනුව වෙරළේ සිට නාවික සැතපුම් එකහමාරකින් (මීටර් 2785ක්) එපිට දැල් හෙළීම නීතියෙන් තහනම්ව තිබියදී, ඔබ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළ මේ වින්ච් වලින් දැල් අදින මාදැල්කරුවන් කිලෝමීටර් තුනක් හතරක් ඈතට දැල් දමන බව ඇත්ත නම්, මේ රටේ ධීවර පරීක්ෂකවරුන් ඒ සම්බන්ධයෙන් රාජකාරි නොකිරීම ගැන ඔබලා මෙතෙක් අනුගමනය කළ පියවර කුමක් ද?

එසේම 1984 දී ධීවර ඇමතිවරයා විසින් නීතියට අනුව ප්‍රකාශයට පත් කළ මාදැල් වරායන් 899 ඇතුළත මත්ස්‍යයින් බෝවන ස්ථාන, කොරල් පර ආදිය තිබුණා නම් ඒ කාලයේ මිනිසුන්ගෙන් දැල් අදින විට ඒවා විනාශ නොවී සුරක්ෂිතව තිබී, දැන් වින්ච් යොදා දැල් අදින විට පමණක් ඒවා විනාශ වන බවක් ඔබලා අදහස් කරන්නේද? යන ප්‍රශ්නයත් ධීවර ලොක්කන්ගෙන් ඇසීමට ඇත.

ඊළඟට මා දැල් නියෝගවල කොතැනකවත් මා දැල ඇදීම සඳහා “මිනිස් ශ්‍රමය පමණක්ම” යොදාගත යුතු බවට නියෝගයක් නැති බවක් ඔබලා පිළිගන්නේ ද?

මා දැල් ධීවර නියෝගවල ‘මා දැල’ යන වචනයට අර්ථ නිරූපණය ලෙස දැක්වෙන: “පැසි දැල හෙවත් බඩවත් එක් කෙළවරකින් අවුරන ලද්දාවූ ද, ලොකු තටු දැල් දෙකකින් යුතුවූ ද, අවසානයේ මසුන් අල්ලන මඩියක් පැසි දැලට අමුණන ලද්දාවූ ද, වෙරළ දක්වා විහිදී යන පරිදි තටු දැල් දෙකේ අනික් කෙළවරට කොහු කඹ දෙකක් ගැටගසා ඇත්තාවූ ද, එය මසුන් අර්ධ වශයෙන් වට කරමින් කායිකව පැදවෙන යාත්‍රාවල ආධාරයෙන් වෙරළේ සිටින මිනිසුන් කණ්ඩායම් දෙකක් විසින් කායිකව ක්‍රම ක්‍රමයෙන් වෙරළට අදිනු ලබන සාම්ප්‍රදායික දැල් වර්ගයක් අදහස් වේ.” යන්නෙහි පමණක් මා දැල මිනිසුන් විසින් අදින බව සඳහන් වන බවත් ඔබලා පිළිගන්නේ ද? යන ප්‍රශ්නයත් ධීවර ලොක්කන්ගෙන් ඇසිය යුතු ය.

මා දැල් ධීවර කර්මාන්තයට වින්ච් යන්ත්‍ර හඳුන්වා දීම මඟින් සිදු වී ඇත්තේ මා දැල් ධීවර නියෝග උල්ලංඝනයක් නොව, මාදැල යන්නෙහි අර්ථ නිරූපණයට අයත් නොවන දැලක් භාවිතයට ගැනීම පමණක් බවත්, එයත් ධීවරයන් විසින් සිදු කර ඇත්තේ ධීවර බලධාරීන්ගේ අනුමැතිය පරිදි බවත් මේ අනුව පැහැදිලි වේ. දැන් සිදු වී ඇත්තේ යම්කිසි පැහැදිලිව නොපෙනෙන හේතුවක් නිසා ධීවර නියෝජ්‍ය අමාත්‍ය වරයා මේ වින්ච් යන්ත්‍ර යොදා දැල් ඇදීම නතර කිරීමට තීරණය කිරීම බවත්, ධීවර අමාත්‍යාංශයේත් ධීවර දෙපාර්තමේන්තුවේත් ලොක්කන්ගේ කොඳු නාරටි පමණක් නොව අස්ථි පංජරයම නියෝජ්‍ය ඇමතිවරයාගේ අවශ්‍යතාව සාධාරණීකරණය කිරීමට උපරිම නම්‍යතාවයෙන් ක්‍රියාත්මක කිරීමත් බව පෙන්වා දිය හැකි ය. එසේම මා දැල් ඇදීමට වින්ච් සහිත ට්‍රක්ටර් යොදා ගැනීමෙන් වෙරළේ ඇති කැස්බෑවුන්ගේ බිත්තර වැනසෙන බවට අපූරු සොයා ගැනීමක් කළ සමුද්‍ර ලොක්කාට, රටේ කැස්බෑවුන් බිත්තර දාන්නේ මාදැල් වාඩිය ඇති මිනිසුන් නිතර ගැවසෙන මාදැල් වරායේ වෙරළේ නොව, මිනිසුන් ගැවසීම අඩු පාළු වෙරළේ බව පෙන්වා දීමට ද කැමැත්තෙමි. ඉහත සඳහන් කරුණු අනුව මට නම් වැටහී යන්නේ කවර නම් මෙතෙක් හඳුනා නොගත් හේතුවක් මත කවරකු විසින් හෝ වත්මන් ආණ්ඩුවත් මා දැලක පටලවා ඇති බවකි.
එමෙන්ම මෙම පැටලීම සඳහා පඹ ගාල යන සාම්ප්‍රදායික වදනට වඩා මෙම මා දැල යන්නෙහි ස්ථානීය උචිත බවක් ද තිබේ.
මේ අතර මෙම ධීවර කර්මාන්තය හා මෙරට කතෝලික ප්‍රජාව අතර ආගමික හා ඓතිහාසික වශයෙන් ඇති යාවජීව සබැඳියාව සම්බන්ධ අගනා තොරතුරු රැසක් රීටා ජෙනට් පෙරේරා ලේඛිකාව ද පසුගිය දා අනාවරණය කොට තිබිණි. එහි දී ඇය පෙන්වා දී තිබුණේ මෙරට කතෝලික ජන සංස්කෘතිය හා මෙතරම් බද්ධ වූ මාදැල් ධීවර කර්මාන්තයට සම්බන්ධ ගැටලුවක් වෙනුවෙන් කතෝලික සභාව නිහඬව සිටිනුයේ මන්ද යන්න ය. සාමාන්‍යයෙන් පොදු සමාජයීය අර්බුද බොහොමයක දී පෙරමුණ ගෙන නොබියව අදහස් පළ කරන පැවිදි උතුමකු වන අතිගරු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් පවා තම කතෝලික ජන කොටස හා සෘජුවම බද්ධ වී ඇති මෙම මාදැල් ධීවර කර්මාන්තය සම්බන්ධ අර්බුදය වෙනුවෙන් පැහැදිලි අදහසක් හෝ ස්ථාවරත්වයක් ප්‍රකාශ කොට නැත. එය ද අපට කෙසේවත් අදහා ගත නොහැක්කකි.

මෙකී සියලුම තත්ත්වයන් යටතේ කෙලවල්ලන් අල්ලා යුරෝපයට පටවන අපේ රටවැසියන්ට, අන්තිමේදී කෙලවල්ලන් රට යවා සාලයා, හාල්මැස්සා, කුම්බලාවා, හුරුල්ලා වැනි සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සම්පූර්ණ කරන මාළු ඉන්දියාවෙන් ආනයනය කරන්නට අවශ්‍ය වන තැනට මේ ධීවර ලොක්කන් වැඩේ කරනු ඇති බවට අනතුරු ඇඟවීමට මම කැමැත්තෙමි.

සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති vinivida.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article