“කොළමුණුඔය” රක්ෂිතයේ තිබූ දැවැන්ත “කුඹුක්” සහ “මාර” ගස් විශාල ප්‍රමාණයක් කපා ගිනි තබා විනාශ කර බිංගිරිය හරහා ගලා බසිනා “කොළමුණුඔය” රක්ෂිතයේ තිබූ දැවැන්ත “කුඹුක්” සහ “මාර” ගස් විශාල ප්‍රමාණයක් කපා ගිනි තබා විනාශ කර ඇතත් වගකිව යුතු කිසිවෙකු ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු කර නැති බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
මෙම මහා විනාශය සිදු කර ඇත්තේ බිංගිරිය පොලීසිය සහ විද්‍යා පීඨයට ආසන්නයෙන් වීමද විශේෂත්වයකි.
දැදුරුඔයේ අත්තක් ලෙස සැළකෙන කොළමුණුඔය අවට පරිසරික සංවේදී කලාපයකි.එමෙන්ම එම ප්‍රදේශය වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ රක්ෂිතයකි. එම අවට දැවැන්ත කුඹුක් සහ මාර ගස් විශාල ප්‍රමාණයක් අතීතයේදී තිබී ඇත. එම ගස් බොහෝමයක් මේ වන විට කපා විනාශ කර කිසිදු හිතක් පපුවක් නොමැතිව වීම කනගාටුවට කරුණකි.
පසුගිය රජය සමයේ දේශපාලන හිතවත් කම් ඇති පිරිසක් විසින් මෙම පාරිසරික සංවේදී කලාපය තුළ තිබූ දැවැන්ත කුඹුක් සහ මාර ගස් විශාල ප්‍රමාණයක් කපා විනාශ කර ඇති ආකාරයක් දක්නට ඇත.ඇතැම් ගස් විනාශ කර ඇත්තේ එම ගස් වලට “වස” වර්ග එන්නත් කර මරා දැමීමෙන් අනතුරුව බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.එමෙන්ම ඇතැම් ගස් වල කද කොටසේ “පොතු ඉවත්” කර මිය යාමට සලස්වා ඇති ආකාරයක්ද දක්නට ඇත.



රක්ෂිතයේ තිබූ දැවැන්ත කුඹුක් සහ මාර ගස් මරා දමා මිය යාමෙන් පසුව එම ගස් ඉවත් කර ඇති ජාවාරම්කරුවන් පසුව කුඹුරු යායක් සකස් කර ඇත.එම කුඹුරු යායේද කොටසක් මේ වන විට ගොඩ කර පස් පුරවා ඇති බවක්ද දක්නට ඇත.එම ගොඩ කිරීම සදහා අවශ්‍ය පස් ලබා ගෙන ඇත්තේද කොළමුණුඔය රක්ෂිතයෙන් වීම විශේෂත්වයකි.
මෙම රක්ෂිතයේ තිබූ විශාල ප්‍රමාණයේ ගස් කපා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේද අනුග්‍රහය ඇතිව පිට ප්‍රදේශ වලට ප්‍රවාහනය කර ඇති බවට ගම්වාසීන් චෝදනා කරයි.අක්කර 10 කට වැඩි ප්‍රමාණයක තිබූ දැවැන්ත ගස් කපා මේ ආකාරයට අවසන් ගමන් යවන තුරු රාජ්‍ය නිලධාරීන් කුමක් සිදු කර තිබේද යන්න ගැටළුවක් බවද ඔවුන් කියා සිටී.
ජලය ගලා බසින ඔයක් ආශ්‍රිතව රක්ෂිතයක් නම් කරන්නේ හේතු රැසක් ඇතිවය.විශේෂයෙන්ම ගංවතුර සමයේදී එම ඔය ආශ්‍රිතව ජීවත් වන පිරිස් වලට ආපදාවක් සිදු නොවීම ඉන් ප්‍රධාන වන්නේය.පසුගිය “දිට්වා” ආපදාව හමුවේද කොළමුණුඔය පිටාර ගලා ගොස් ප්‍රදේශයට දැඩි හානියක් සිදු කළේය.නමුත් ඔය රක්ෂිතය නිරුපද්‍රිතව තිබුනේ නම් එදා සිදු වූ විනාශය අවම වන බව ප්‍රදේශවාසීන්ගේ මතය වී ඇත.
අනවසරයෙන් වගා කර ඇති එම කුඹුරු යාය තුළ මේ වන විටද දැවැන්ත ගස් විශාල ප්‍රමාණයක් මරා දමා ඇති බවට එහි ඉතිරිව ඇති නෂ්ඨාව ශේෂ සාක්ෂි දරයි. එම ගස් මිය ගොස් ඇත්තේ ස්වාභාවික හේතුවක් මත නොවන බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී අනාවරණය කර ගත හැකි වනවා ඇත.
කොළමුණුඔය යනු බිංගිරියට ආභරණයකි.කොළමුණුඔයේ ජලය භාවිතා කරමින් බිංගිරිය අවට ගොඩ සහ මඩ ඉඩම් බොහෝමයක් වගා කරති.නමුත් මේ ආකාරයට කොළමුණුඔය රක්ෂිතය විනාශ කරන්නට වුවහොත් අනාගතයේදී සිදු වන විනාශය අති මහත්ය.එහි අවසාන ප්‍රතිඵලය වන්නේ කොළමුණු ඔය සිදී ගිය “දිය පහරක්”පමණක් වීමය.එය එසේම වුවහොත් වගකීම බාර ගත යුතු වන්නේ වර්තමානයේ කොළමුණුඔය රක්ෂිතය විනාශ කරන ජාවාරම්කරුවන් සහ ඒ බව නොදැක්කා දේ දෑස පියා සිටින නිලධාරීන්ම නොවන්නේද?
ජුඩ් සමන්ත







