
පුත්තලම බස් නැවතුම් පල ඉදිරිපිට සවි කර ඇති දැවැන්ත ඩිජිටල් පුවරුව කඩා වැටීමට ආසන්න තත්ත්වයක පවතින බව එම ස්ථානයේ සිටින ත්‍රී රෝද රථ රියදුරන් සදහන් කරයි.
මෙම ඩිජිටල් පුවරුවට හිමිකම් කීමට කිසිදු ආයතනයක් හෝ පුද්ගලයෙකු නොමැති වීම විශේෂත්වයකි.
දිවයින පුරා බස් නැවතුම් පලවල් ආශ්‍රිතව ඩිජිටල් පුවරු ස්ථාපනය කිරීමේ වැඩ සටහන යටතේ පසුගිය රජය කාලයේ මෙම පුවරුව සවි කර ඇත. බස් රථ පිටත්වන වේලාවන් සහ විවිධ ආයතනික දැන්වීම් පුවරුව සවි කළ මුල් කාලයේදී එහි ප්‍රදර්ශණය කරණ ලදි. කාලයාගේ ඇවෑමෙන් පළමුව බස් රථ කාල සටහනද, අනතුරුව වෙළද දැන්වීම් ප්‍රචාරය වීමද ඇණ හිටියේය. ඉන් අනතුරුව මෙම ඩිජිටල් පුවරුව අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් දිරා පත් වන්නට පටන් ගත්තේය.
පසුගිය ” දිට්වා” සුළි කුණාටුව අවස්ථාවේදී මෙම පුවරුව කඩා වැටෙන තත්ත්වය ආරම්භ විය. ත්‍රී රෝද රථ රියදුරන්ගේ දැණුවත් කිරීම අනුව ක්‍රියාත්මක වී ඇති පුත්තලම නගර සභාවේ සේවකයින් දම්වැලක් යොදා ගසක ගැට ගැසීමෙන් පුවරුව කඩා වැටීම වැළැක්වීමට පියවර ගෙන ඇත.වර්තමානය වන විට මෙම ඩිජිටල් පුවරුවේ ආධාරක කණු දිරා පත්වී දැඩි අනතුරු දායක තත්ත්වයට පත්ව ඇත.
කඩිනමින් මෙම පුවරුව ඉවත් කිරීමක් නොකළ හොත් ඉදිරි දිනක විශාල අනතුරක් සිදුවිය හැකි බව පුත්තලමේ ත්‍රී රෝද රථ රියදුරන් සදහන් කරයි.
” මෙම පුවරුව සවිකරලා තියෙන්නේ කව්ද යන්න අපි දන්නෙත් නෑ. පසුගිය රජය විසින් ක්‍රියාත්මක කර තිබු එක් ආසාර්ථක ව්‍යාපෘතියක ප්‍රතිපල තමයි මේ දකින්න තියෙන්නේ” යැයි මේ සම්බන්ධයෙන් විමසූ විට පුත්තලම නගරාධිපති එම්. එෆ්. රින්සාද් මහතා පැවසීය.









