ඉරාන යුද අර්බුදය සහ මැදපෙරදිග ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ (9) අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ උදෑසන වනවිට ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 119.50 දක්වා සහ ටෙක්සාස් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 107 දක්වා ඉහළ ගිය අතර, බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා ගොස් ඇත්තේ කොවිඩ් වසංගතයෙන් පසු පළමුවරට බව ද වාර්තා වේ.
මේ තත්ත්වය හමුවේ ලෝක ආර්ථිකය බිඳ වැටීමේ අවදානමක් මතුවී ඇති අතර, දිනෙන් දින ඉහළ යමින් පවතින බොරතෙල් මිල පාලනය කිරීම සඳහා මිලියන ගණනාවක බොරතෙල් සංචිතයක් වෙළෙඳපොළට මුදා හැරීම සම්බන්ධව හදිසි සාකච්ඡාවක් පැවැත්වීමට ජී7 රටවල මුදල් ඇමැතිවරු තීරණය කර ඇතැයි වාර්තා වේ.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සම්බන්ධිකරණය යටතේ සහ ප්‍රංශයේ සත්කාරකත්වය යටතේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ එම රැස්වීමේ දී හදිසි අවශ්‍යතාව මත බැරල් මිලියන 300 සිට 400 දක්වා බොරතෙල් සංචිතයක් වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධව එහි දී සලකා බැලීමට නියමිතව තිබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජිකත්වය දරන රටවල් 32ක් හදිසි තෙල් අර්බුදයක දී භාවිතයට ගැනීම සඳහා අතිවිශාල බොරතෙල් සංචිතයක් ගොඩනඟා ඇති බවත්, මුදල් අමාත්‍යවරුන්ගේ එකඟතාව අනුව එම සංචිතයෙන් බොරතෙල් බැරල් මිලියන 400ක් ඒකාබද්ධව වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසය පළ වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ලොව ප්රබලතම ආර්ථිකයට හිමිකම් කියන ජී7 සංවිධානයේ මුදල් ඇමැතිවරු එම රැස්වීම සම්බන්ධව නිවේදනය කිරීමත් සමඟ ඊයේ පස්වරුව වන විට ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 104.80 දක්වා සහ ටෙක්සාස් බොරතෙල් බැරලයක මිල ඩොලර් 102 දක්වා පහත වැටුණු බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ෆවුස් මොහොමඩ් ( දිණමින )







