spot_img
Friday, March 6, 2026
spot_img

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට සිදුකළ ලිංගික අපරාධය: වෛද්‍යවරියගේ දුරකතනය සොරා ගැනීමේ වරදට හිටපු සෙබළාට මාස 6ක සිර දඬුවම්

Must read

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු වෛද්‍යවරියක බරපතළ ලෙස ලිංගික අපරාධයකට ලක් කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද්ධ හමුදා සෙබළාට මාස 6ක අනිවාර්ය සිර දඬුවම් නියම කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න සඳුදා (පෙබ. 23) නියෝග කළේ ය.

ඒ, සැකකරු ඇය සතුව තිබූ ස්මාර්ට් ජංගම දුරකතනය සොරා ගැනීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ය. සිර දඬුවමට අමතරව සැකකරුට රු. 1500ක දඩ මුදලක් ද නියම කෙරිණි. තව ද වෛද්‍යවරියගේ ජංගම දුරකතනය සොරා ගෙන ගොස් සඟවා තබා ගැනීමට විත්තිකාර හිටපු හමුදා සෙබළාට ආධාර අනුබල දීමේ චෝදනාවට වරද පිළිගත් ඔහුගේ සහෝදරියකට සහ තවත් සැකකරුවෙකුට වෙන් වෙන් වශයෙන් මාස 6 බැගින් සිර දඬුවම් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම සිර දඬුවම වසර දෙකකට අත් හිටුවීමට නියෝග කළේ ය. ඊට අමතරව ඔවුන්ට රුපියල් 1,500 බැගින් වෙන් වෙන්ව වශයෙන් දඩ ද නියම කෙරිණි.

පෙර නඩු විභාගවලදී සිදු වූයේ කුමක් ද?

වෛද්‍යවරිය බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා මාස 7කට ආසන්න කාලයක් අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර යුද්ධ හමුදා සෙබළා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර මාස තුනකට අධික කාලයක් ගත වුව ද එම ඇප කොන්දේසි සපුරාලීමට සැකකරුට මෙතෙක් හැකි වී නොමැත. විත්තිකරුට විදෙස්ගත වීම වළක්වාලමින් තහනම් නියෝගයක් ද පනවා තිබේ.

එදින සැකකරු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කළ ද ඔහුට යළි රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදු වූයේ ජීව අත් බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවකට ය.

ඔහු ඩී.එන්.ඒ පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද අනුරාධපුර මූලස්ථාන පොලිසියට මීට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.

උපුටා ගැනීම – www.bbc.com/sinhala

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article