e – ජනගහණ ලේඛන වැඩසටහනට සමගාමීව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ජාතික උප්පැන්න සහතිකය “ශ්‍රී ලංකා තැපැල් කුරියර්” සේවාව ඔස්සේ මහජනතාව අතට පත් කිරීමේ නියමු ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) දින පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් පරිපාලන සංකීර්ණයේ දී පැවැත්විණි.

2021 වසරේ සිට 2025 ඔක්තෝබර් 31වැනිදා දක්වා ජාතික උප්පැන්න සඳහා 1134119 ක් දිස්ත්‍රික් විසිපහ සඳහා ලියාපදිංචි වී ඇති අතර මේ වන විට පුද්ගලයන් 886431 ක් සඳහා ජාතික උප්පැන්න සහතිකය සකසා අවසන් කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න මහතා.
රජයේ ප්‍රධාන වැඩසටහන් අතර ඩිජිටල්කරණය තිබෙනවා. ඒ සඳහා රජය විශාල වශයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමත් අවශ්‍ය කරන වැඩ කටයුතු සැලසුම් කිරීමත් ක්‍රියාත්මක කිරීමත් මේ වනවිට සිදු කරමින් පවතිනවා.
ඉතාම ඉක්මණින් ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වාදීමට අවශ්‍ය කරන මූලික කටයුතු මේ වන විට සම්පාදනය වෙමින් තිබෙනවා. මේ ක්‍රියාකාරකම් වලට දායකත්වය ලබා දිය හැකි ඒ වැඩපිළිවෙලට උපකාර විය හැකි මූලික අවශ්‍යතාවයක් තමයි අපි මේ සම්පූර්ණ කරමින් යන්නේ.
ජාතික උප්පැන්න සහතිකය විධිමත්ව ලබාදීම වැඩපිළිවෙළ අපි දැනටමත් ආරම්භ කර තිබෙනවා. අවුරුදු පහළොව සම්පූර්ණ වෙන දරුවකුට ජාතික හැඳුනුම්පතේ අංකය උප්පැන්න සහතිකයත් සමඟම ලබාදීමට අවස්ථාව ලැබෙනවා. උපැන්න සහතිකයේ තිබෙන අංකයම තමයි ජාතික හැඳුනුම්පත් අංකයටත් ඇතුළත් වෙන්නේ.
අනාගත ලෝකය සඳහා අවශ්‍ය කරන ලේඛනයක් විධිමත්ව ලබාදීමේ වුවමනාව තමයි මෙතන තියෙන්නෙ.
ලෝකය අලුත් වෙනකොට වෙනස් වෙනකොට නව ප්‍රවණතා නිර්මාණය වෙනකොට සමාජයට එහි ප්‍රතිලාභ ලබාදීමේ අවශ්‍යතාවය ඇතිවෙනවා. එම අවශ්‍යතාවයේ එක් මූලික පියවරක් තමයි අපි මේ ක්‍රියාවලියේදී අපේක්‍ෂා කරන්නේ.
මෙම අවස්ථාව සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය සහ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති මහින්ද ජයසිංහ, ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ , රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, රෙජිස්ට්‍රාර් ජනරාල් එස්. ජලදීපන් , තැපැල්පති එස්. ආර්. එම්. සත්කුමාර, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් නදීශා අමරසිංහ යන මහත්ම මහත්මීන් මෙන්ම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිධාරීන් රැසක් එක්ව සිටියහ.







