Monday, April 28, 2025

තට්ටු මාරු ක්‍රමයට නගරය පාලනය කළ අයට වෙන්නප්පුව ජලයෙන් යටවෙන එක වලක්වන්න විධිමත් සැලැස්මක් තිබුණේ නෑ – ජා.ජ.බ අපේක්ෂක ඇන්ටන් කුමාර

Must read

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ජාතික ජනබලවේගය නියෝජනය කරමින් වෙන්නප්පුව ප්‍රා.සභාවට තරග වදින හිටපු ප්‍රා.සභා මන්ත්‍රී ඇන්ටන් කුමාර මහතා වෙන්ප්පුවේ ඉපදී ශා.ජෝශප් වාස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත. ඔහු වෙන්නප්පුව ජෝශප්වාස් ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. 2017 වර්ෂයේදී වෙන්නප්පුව ප්‍රා.සභාවට ජවතා විමුක්ති පෙරමුණෙන් තරග වදිමින් ප්‍රා.සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වන ඇන්ටන් කුමාර මහතා පුත්තලම් දිස්ත්‍රික්කයේ මාලිමාව ජයගහණය කිරීම වෙනුවෙන් ඇපකැපවී ක්‍රියාකළ දේශපාලන ක්‍රියාධරයෙකි. ඔහු සමග සිදුකරන ලද කෙටි සංවාදයක් පහත පළවේ.

ඔබගේ පවුලේ තොරතුරු සහ ළමා කාලය පිලිබඳව දැනගන්නනට කැමතියි

මගේ මව කේ කරුණාවතී. තාත්තා ටී.බී.ඩී. බැසිල්. තාත්තා චිත්‍ර ශිල්පියෙක්. 70 දශකයේ ඉදලා 80 දශකය වෙනකම් තාත්තා මේ ප්‍රෙද්ශයේ හිටපු වාත්තිය චිත්‍ර ශිල්පියෙක් ලෙස සේවය කලා. ඩිජිටල් යුගය එන්න කලින් ප්‍රදේශයේ සිදුවුන කලා කටයුතු වලට තාත්තා ගොඩාක් දායක වෙලා තියෙනවා.

මම වෙන්නප්පුව ජෝශප් පාස් විද්‍යාලයේ ප්‍රාථමික වසර වල සිට අධයාපනය ලබලා උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබුවා. පාසලේ ඉද්දි මම ශිෂ්‍ය බට කණ්ඩායම නියෝජනය කළා. ඒ පැත්තෙන් ගොඩක් ක්‍රියාකාරී වුණා.2004 වෙනකම්ම මම පාසලේ ශිෂ්‍ය බට කණ්ඩායමේ පුහුණුවීම් සිදුකළා. මේවනවිට වෘත්තියෙන් කොන්ත්‍රාත්කරුවෙක් ලෙසත් ව්‍යාපාරිකයෙක් ලෙසත් කටයුතු කරනවා.

ඔබේ මුල්ම දේශපාලන ප්‍රවේශය ජනතා විමුක්ති පෙරමුණද ?

මම උසස් පෙළ කළාට පස්සේ මම මුලින්ම ඡන්දයක් ආවේ 2000දී. මගේ කුරුඳුල් ඡන්දය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණට.මේ වෙනතුරු වෙන පක්ෂයකට ඡන්දෙ දාලා නැහැ.ඒකට හේතුව ඒ කාලේ ඉඳන්ම පක්ෂය ගැන අදහසක් තිබ්බා ඒක රැඩිකල් පක්ෂයක් කියලා.අසාධාරණයට විරුද්ධව කතා කරන එකයි පක්ෂයට තිබුණු විණයත් එක්ක පක්ෂයට ආකර්ෂණයක් තිබුණා. සමහර විට මම පාසල් කාලයේ සිටම මම කැඩෙට් එකේ හිටිය නිසාම විණයගත පක්ෂයකට මගේ කැමැත්තක් තියෙන්නත් ඇති. කැඩෙට් එකෙන් ලබපු පන්නරය සහ විණයත් එක්ක තමයි මම ජයවිපෙට කැමති වෙන්නේ.

දේශපාලනයට සම්බන්ධ වෙන්න ගෙදරින් බලපෑමක් තිබුනද ?

නෑ එහෙම විශේෂ බලපෑමක් තිබුණේ නෑ. පවුලේ කවුරුත් දේශපාලනය කෙරුවේ නැහැ. මම අධයාපනය ලබන කාලේ ඉදලා ජනතා විමුක්ති පෙරමුණට කැමැත්තක් තිබුණා. මම යාලුවෝ එක්ක ඉල්මහ සැමරුමට කොළඹ ගිහින් එනවා. ඒවා විධිමත් සම්බන්ධකම් නෙමෙයි. නමුත් සමහර රැස්වීම් වලට ආසාවට ගියා. ඒ ගොල්ලන්ගේ රැස්වීම් වලට අපේ ගෙදරින් උදව් එහෙමත් කෙරුවා. මම සක්‍රීය දේශපාලනය ආවේ 2017 දී. මට පක්ෂයෙන් ආරාධනාවක් ආවා. ඒක මම බාරගත්තා. ඒ වෙලාවේ (2010 දී) වෙන්ප්පුවේ ප්‍රා.සභාවේ අපේ නියෝජනයකුත් තිබුණා. ඒක මම ඒක බාරගන්නවා ඊට පස්සේ තමා මම 2018 පළාත් පාලන මැතිවරණයේදී වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට නාම යෝජන භාර දුන්නේ.

වෙන්නප්පුව නගරය සම්බන්ධයෙන් මේ වන විට මතුවී ඇති ප්‍රධාන ප්‍රශ්න හැටියට ඔබ හඳුනාගෙන ඇත්තේ මොනවාද ?

පළාත් පාලන ආයතනයකින් මුලින්ම බලාපොරොත්තු වෙන්නේ නගරවාසීන්ගේ සනීපාරක්ෂාවනේ. සනීපාරක්ෂාව සහ නගරය පිරිසිඳුව තියාගන්න එකයි ප්‍රා.සභාවක මූලික වගකීම. ජල පද්ධතිය ගත්තත් ජනතාවගේ මූලික සනීපාරක්ෂාවටයි අයත් වෙන්නේ. වැසි ජලය ගලායාමේ පිළිවෙලක් නැ. අප ජලය බැහැරවීමේ පිළිවෙලක් නෑ.වෙන්නප්පුව නගරයේ ස්රවිස් ස්ටේෂන් කීයක් තියෙනවද බලන්න මේ වෙද්දී, ඒවල අපජලය ඔක්කොම නිසිආකාරයට බැහැර වෙන්නේ නෑ. නගරයේ තිබෙන ටොයිලට් වල අපද්‍රව්‍ය පවා නගර සභාව විසින් බැහැර කරන්නේ වතුවලටයි. ලොකු වතුවලට කතාකරලා එවා හලලා දානවා. මෙච්චර කාලයකට මාරුවෙන් මාරුවට නගර සභාව පාලනය කරපු අය ඒකට විදිමත් සැලැස්මක් හදලා නෑනේ.

අපට තියෙන කාණු පද්ධතිය එකට එකක් සහ සම්බන්ධයක් නෑ. අප ජලය හෝ වැසි ජලය බැසයාමට නිශ්චිත බැස්මක්, ගලායාමක් තිබෙනවා නේ. ඒක ඉස්සර තිබුණා. ඒ බැස්මට අදාළව මොකුත් විද්‍යානුකූළව සැලසුමක් තිබිලා නෑ අපිට. නාගරිකකරනය වෙන්න වෙන්න සිද්ධ වෙන්නේ පිහිටි භූමිය ගොඩනැගිලි වලින් ආවරණය වෙනවා. ඒ වගේම ජලය ගලාගෙන යන්න තියෙන මාර්ග අවහිර වෙලා , සමහර තැන් වහලා. මොන සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන්නත් අපිට තොරතුරු පද්ධතිය යාවත්කාලීන කරන්න ඕනා. සිතියම් තියෙනවා නම් මුලින්ම ඒ ටික හොයාගන්න ඕනා. පොලොව යටින් බට ගෙනියන්න පුලුවන්ද ඒ සදහා මොකක්ද තියෙන භු සිතියම කියලා අපි හොයාගන්න ඕනා.

ආසන්නම ප්‍රධාන ප්‍රශ්නයක් වන නගරය ජලයෙන් යටවීමේ ප්‍රශ්නයට ඔබ මොකක්ද යෝජනා කරන්නේ ?

වෙන්නප්පුව නගරයේ ප්‍රධාන ස්තාන කීපයක්ම යටවෙනවා මේ වෙද්දි ලුණුවිල හන්දියේ ඉදලා වයික්කාලට වෙනකම් තැනින් තැන ජලයෙන් යටවෙනවා. ඒ වගේම නගරයෙන් පිටත රන්දියගම,ලුණුවිල හන්දිය, සිරිගම්පොළ ප්‍රෙද්ශ කීපයක් යටවෙනවා ,උදාසිරිගම යටවෙනවා,දෙමටපිටිය මේ වාගේ ප්‍රෙද්ශ පොඩි වර්ෂවකදි පවා යටවෙනවා. අවිධිමත් ඉදිකිරීම් නිසාත් සමහර ප්‍රෙද්ශ යටවෙනවා. බෝලාන වගේ ප්‍රෙද්ශ එහෙම තැන්. මේ වෙද්දි අපි රන්දියගම යටවිම නැවැත්වීම සදහා ව්‍යාපෘතියක් සකස් කරලා තියෙන්නේ. ඒක ක්‍රියාත්මක කරන්න ප්‍රතිපාදන වෙන්කළ ගමන් ඒක කරන්න පුලුවන්. අනෙක් සියලූම ප්‍රෙද්ශ වලට අදාළව ජලය බැස යන ආකාරයට කාණු පද්ධතියක් අලුතින් සකස් කිරීමට සිදුවනවා. ඒ සම්බන්ධයෙන් අපි බලය ගත්තාම ක්‍රියාත්මක වීමට බලාරෛාත්තු වෙනවා.

නගර සභාවේ කුණු එකතුකිරීම කවමත් නිසි පිළිවෙලකට සිදුවෙන්නේ නැහැ.නමුත් ජනතාවගෙන් වරිපනම් අයකරනවා ?

වෙන්ප්පුව වගේ ප්‍රා.සභාවක මුදල් නැහැ කියන්න බැහැ. සැලැස්මක් නැහැ. දැනට ප්‍රා.සභාවේ කුණු ඉවත්කිරීම සදහා සිටින සෙවකයෝ සහ ට්‍රැක්ටර් ප්‍රමාණවත් කියලා තමයි කියන්නේ. එහෙම නම් නගරයේ කුණු ඉවත්කිරීම පිලිවෙලට සිදුවෙන්නැත්තේ කළමණාකාරීත්වයේ දුර්වලකමක් නිසයි. කාලෙන කාලෙට පැලැස්තර ඇලෙව්වා මිසක් ස්ථීර සාර විසඳුම් හොයන්න කවුරුත් උත්සාහා කලේ නහැ. අපිට දැනට සමහර දේවල් කුඩා ආයෝජනයකින් කරගෙන යන්න පුලුවන්. කොම්පෝස්ට් අංගනයක් අපිට තියෙනවා දැනට. සිංදිරියාමුල්ලේ අක්කර දෙකක අංගනයක්.
ඊළගට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පැම්පර්ස් ඉවත්කිරීම. මේ වනවිට ආයතනයක් ඉදිරිපත් වෙලා තිබෙනවා පැම්පර්ස් මිළදී ගන්න හැබැයි ඒකට මුදලක් ගෙවන්න වෙනවා. ඒක කිලෝ එකකට රු 100ක්. ඒක බොහෝ අයට දරන්න අමාරුයි. ඒ නිසා අපි බලයට ආවොත් අපි බලාපොරොත්තු වෙනවා සනීපාරක්ෂිතව ඒවා එක් ස්ථානයකට එකතු කරලා අදාළ ආයතනයකට බාරදෙන්න. මේ සදහා හැකි පුද්ගලයින්ගෙන් යම් මුදලක් එකතු කළාට කමක් නැහැ. නමුත් හැමෝටම ඒක කරන්න බැහැනේ.

වෙන්න්ප්පුව ප්‍රා.සභාව කියන්නේ බදුමුදල් වැඩිපුර ලැබෙන නගරයක්. නඩත්තු වියදම් හැරෙන්නට මේ මුදල් වලින් නගරයේ දිළිදු කොටස් වලට හෝ උපකාර අවශ්‍ය ප්‍රජාවට ප්‍රතිලාභයක් ලැබෙනවද ?
මෙතෙක් ඉතිහාසයේ ප්‍රා.සභාවේ අයවැය ගත්තොත් වැඩියෙන්ම මුදල් වෙන්කරන්නේ මාර්ග නඩත්තුවට. ඒවා හැමදාම කැඩෙනවා,හැමදාම හදනවා. ආදායම් නෑ කියන්න බෑ. වරිපනම් සීමාවත් වැඩිකරලා තියෙන්නේ. ජනතාවගේ ප්‍රජා සෞඛ්‍ය,ප්‍රජා සංවර්ධනය , මානසික සංවර්ධනය වෙනුවෙන් මුදල් වෙන්කරන ප්‍රමාණය මදි. උදාහරනයකට පුස්තකාලය ගත්තොත් එකේ තියෙන්නේ පොත් කොමිස් එකක් ලැබෙන නිසා ගන්න පොත් විතරයි. අධ්‍යාපනයට අවශ්‍ය විෂය නිර්දේස අනුව අවශ්‍ය පොත් හෝ පාඨකයින්ගේ රසවින්දනය උසස් කරන කාලීන සාහිත්‍ය පොත පත සදහා මුදල් වෙන්කිරීමේ ක්‍රමවේදයක් නැහැ. නමුත් එය වෙනස් විය යුතුයි. විවිධ විෂය නිර්දේශයන් යටතේ නගරයේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය පොත් පුස්තකාලයට එකතු කරන්න ඕනා. ඒ වගේම ප්‍රජා සෞඛ්‍ය වගේ දේවල් වලට මුදල් යෙදවීමත් අඩුයි.


වෙන්නප්පුව කියන්නේ රටේ ධීවර කර්මාන්තයට සෘජුවම දායක වෙන ප්‍රදේශයක්. එම ධීවර ප්‍රජාවට ප්‍රා. සභාවෙන් යම් සේවයක් සිදුවෙනවාද ?

පළාත් පාලන ආයතනයක් හැටියට දැනට නම් ධීවරයාට නම් කිසිම දෙයක් කරලා නැහැ. ලයිට් එක දාලා දෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් සිදුවෙලා නෑ. ධීවරයාට කරනවා නම් කොච්චර දේවල් තියෙනවද – කුඩා මාලු ටික කාලෙකට අපතේ යනවා. සභාවකට පුලුවන් ශීතාගාර පහසුකම් හදලා දෙන්න. පසුගිය කාලේ හාල්මැස්සේ රු 50ට දිගන්න බැරිව ගියා ඉතින් ඒ වගේ වෙලාවක මාලු ටික කූල් රූම් වලට දාන්න පුලුවන් පහසුකම් තියෙන්න ඕනා. ඒව ධිවර අමාත්‍යාංශයෙන්ම කරන්න ඕනා නෑනේ. ප්‍රා.සභාවකට පුලුවන් ඒකට වැඩපිළිලෙක් හදන්න.

වෙන්ප්පුව ප්‍රා.සභාවේ බදු මුදල් අයථා ලෙස හෝ නීති විරෝධී ලෙස යෙදවී තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඔබට ක්‍රියාමාර්ගයක් ගත හැකිද?

ඔව් අපිට දැන් මූල්‍ය වංචා ගැන හොයන්න ආයතන ගණනාවක් තියෙනවා. ජනතාවගේ බදු මුදල් හොරාකාල නම් එකට අපි නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා. අපි ජාතිකවත් ඒ වැඩටික කරනවා. එයට අමතරව ප්‍රා.සභාවේ විගනන අංශයක් තියෙනවා ඒ වගේම ප්‍රා.සභාවේ නීති අංශයකුත් තියෙනවා. ඒ සෑම අංශයකින්ම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සදහා ඉල්ලීමක් කළ හැකියි. ඒ තොරතුරු දුන්නාට පස්සේ ඒකට නායකත්වය දෙන එක තමයි අපිට කරන්න තියෙන්නේ. ජනතාවත් අපිට තොරතුරු දෙන්න බලන් ඉන්නවා.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඔබගේ නායකත්වය යටතේ වෙන්නප්පුව ප්‍රා.සභාවට තරග වදින කණ්ඩායම ගැන ?

අපේ කණ්ඩායමේ 44ක් ඉන්නවා. වෙන්නප්පුව ආසනයට ඒ 44 දෙනා අතරේ ඉන්නවා. එ අය ප්‍රා.සභා අරමුදල් විද්‍යාත්මකට කළමනාකරනය කරන්න පුලුවන් විදිහේ දක්ෂතා තියන අය. ඒ කන්ඩායමේ ඉන්නවා ගුරුවරු,ඉංජිනේරුවෝ,ව්‍යාපාරිකයෝ,වෘත්තිකයෝ,ධීවරයෝ ,ඒ වගේම සමාජ සේවය කරන අය, සත්ව සහ වන ජීවී ක්ෂේකත්‍රෙය් අය ආදී විවධ පුද්ගලයන් අපේ කණ්ඩායමෙන් ඉදිරිපත් වෙලා ඉන්නවා.

වෙන්නප්පුව නගරය සම්බන්ධයෙන් ඔබේ සංවර්ධන සැලැස්ම කුමක්ද?

දැනට නගරය සම්බන්ධයෙන් දීර්ඝකාලීන සැලසුම් ක්‍රියාත්මක කරන්න වෙන්නේ හැම අංශයකටම අදාළව තොරතුරු පද්ධතියක් සකස් කිරීමෙන් අනතුරුවයි.ඒ වගේම ප්‍රා.සභා අරමුදල් මෙන්ම මධ්‍යම රජයේ අරමුදල් සමහර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි. අපි වෙන්නප්පුව නගරයට නව සංවර්ධන සැලැස්මක් යෝජනා කරලා තියෙනවා. ඒවා අතරින් ප්‍රමුඛතාවය දීලා තියෙනවා කඩිනමින් විසඳීමට අවශ්‍ය ගැටලු වලට.

ධීවර තොටුපළවල් නවීකරනය කිරීම , කෘෂිකාර්මික කටයුතු වලට සම්බන්ධ ලුණු බැම්ම විද්‍යානුකූලව සංවර්ධනය කිරීම, අප ජලය නිසියාකාරව බැහැර කිරීමට නිසියාකාර කාණු පද්ධතියක් සකස් කිරීම. රිගම්පල ජනපදයට පානීය ජල ප්‍රශ්නයක් තියෙනවා ඒකට ස්ථීර විසදුමක් ලබාදීම. මුලින් තාවකාලික විසදුමක් තමයි දෙන්න වෙන්නේ ,දැනට ජල සම්පාදක මන්ඩලයේ ව්‍යාපෘතිය නැමැති නිසා. එතෙක් අපි කෙටිකාලීන පහසුකමක් සකස් කර දෙනවා. ගෘහස්ත හා කුඩා කර්මාන්ත වලට ,ඔවුන්ගේ නිෂ්පාදන අළෙවි කරගැනීම සදහා අළෙවි කුටි නිර්මාණය කිරීමත්, හොද තත්ත්වයේ නිෂ්පාදන වලට අපනයනයට අවශ්‍ය සම්බන්ධීකරණයක් සිදුකිරීමටත් අපි බලාරෛාත්තු වෙනවා. වෙන්නප්පුව ආසනයට වැව් 7ක් පමණ තිබෙනවා. සමහර ඒවා ක්‍රියාත්මක නෑ. ඒවා නැවත ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article