
මුන්දලම, අගුණවිල – බරනන්කට්ටුව මාර්ගයේ ඇති ප්‍රධාන පාලම පසුගිය නොවැම්බර් මාසයේ 27 වැනිදා පැවති දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ජල ගැලීමෙන් මෙම පාලම කැඩී ගොස් ඇත. මේ වනවිට පාලම කැඩීගොස් මාස 02 කට වැඩි කාලයක් ගත වී ඇතත් එය ප්‍රතිසංස්කරණය කිරීමට හෝ විකල්පයක් යෙදීමට කිසිවෙකුගේ අවදානයක් මෙතෙක් යොමු වී නොමැත. ප්‍රදේශවාසීන් සදහන් කරන්නේ අගුණවිල ප්‍රදේශයේ තිබෙන සියඹලන්කොටුව ජලාශය පාදක කර ගෙන ප්‍රදේශයේ කුඹුරු අක්කර 774 ක් යල – මහ දෙක්න්නයේ වගා කිරීම සදහා කුඹුරු යාය අස්වැද්දීම සදහා අවශ්‍ය යන්ත්‍ර – සූත්‍ර මෙන්ම නෙලා ගන්නා අස්වැන්න රැගෙන යා යුත්තේද මෙම මාර්ගයෙන් බවයි. එම නිසා සියඹලන්කොටුව ව්‍යාපාරයේ ගොවීන්ද මේ වන විට දැඩි පීඩාවකට පත්ව සිටියි.
එමෙන්ම අගුණවිල සහ අවට ගම්මාන වල ජනතාව ආණමඩුව, මහකුඹුක්කඩවල වැනි ප්‍රදේශ වලට ගමන් කිරීම සදහා භාවිතා කර ඇත්තේද මෙම මාර්ගයයි.බිදී ගොස් ඇති පාලම ආසන්නයෙන් යොදා ගෙන ඇති අතුරු මාර්ගයක් ප්‍රදේශවාසීන් තම ගමනා ගමන කටයුතු සදහා භාවිතා කරති.නමුත් එම අතුරු මාර්ගයද අනතුරු දායක බව ඔවුන් කියා සිටී.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රට පුරා බිදී ගිය ලොකු – කුඩා පාලම් බොහෝමයක් මේ වන විට නැවත සකස් කර ඇත.නමුත් බිදී ගොස් ඇති මෙම පාලම පිළිබදව කිසිවෙකුගේ අවදානයක් මෙතෙක් යොමු නොවීම කනගාටුවක් බවද අගුණවිල සහ අවට ගම්වාසීන් කියා සිටී.
ජුඩ් සමන්ත







