පාසල් දරුවන් ප්‍රවාහනය කරන වාහන නියාමනය කිරීම සදහා රජය විසින් ආරම්භ කර ඇති වැඩ සටහනට සංශෝධන සහිතව තම සංගමයද සහාය පළ කරන බව සමස්ථ ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්.එච්.කේ.හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා පැවසීය.
පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ පුත්තලම දිස්ත්‍රික් විධායක කමිටු රැස්වීම වෙන්නප්පුව – දුම්මලදෙණියේදී පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ථ ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්.එච්.කේ.හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා මෙසේද පැවසීය.
මේ වන විට දිවයින පුරා පාසල් දරුවන් ප්‍රවාහනය සදහා බස් සහ වෑන් රථ 32,000 ක් පමණ යොදවා තිබෙනවා.එම වාහන වලින් දිනකට අවම වශයෙන් පාසල් දරුවන් ලක්ෂ 18 ½ ක් 19 ක් පමණ ප්‍රවාහනය කරන බවයි අපගේ අදහසයි.පාසල් දරුවන් ප්‍රවාහනය කරනවා කියන්නේ ඉතාමත්ම වගකීමක් ඇති කටයුත්තක්.පාසල් දරුවන් ප්‍රවාහනය කරන සේවකයින්ට වෙනත් සේවා සිදු කරන අයට වාගේ නිදහසක් නෑ.ඔවුන් තමන්ගේ කුමන ආකාරයේ පුද්ගලික කටයුත්තක් තිබුණත් ඒ සියල්ල කැප කරලා පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේ කටයුත්ත කළ යුතු වනවා.
පාසල් දරුවන් ප්‍රවාහනය කරන වාහන සහ ඒවායේ සේවය කරන අය සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ ගැටළු ඇති වී තිබුණා.එම ගැටළු පිළිබදව අපි විශේෂ අවධානයක් යොමු කර අවශ්‍ය කටයුතු කර තිබෙනවා.
ඒ අතර තුර තමයි රජය විසින් පාසල් දරුවන් ප්‍රවාහනය කරණ වාහන සම්බන්ධයෙන් නියාමනයක් සිදු කරන්න තීරණය කර තිබෙනවා.එහිදී රජය විසින් ගෙනවිත් තිබූ ඇතැම් යෝජනා වලට අපි කැමැත්තක් දැක්වූයේ නෑ.අපිත් එම යෝජනාවලියට සංශෝධන එකතු කරන්න කටයුතු කලා.රජය ඊට සාධනීය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
මෙම සංශෝධ වලදී මෙතෙක් තිබූ පාසල් දරුවන් ප්‍රවාහනය කරන වාහන වල සේවය කරන රියදුරන්ගේ වයස් සීමාව සංශෝධනය කර තිබෙනවා.එමෙන්ම සියළුම වාහන රියදුරන්ට සහ එම වාහන වල සේවය කරන පාලිකාවන්ට නිල ඇදුමක් ලබා දීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබෙනවා.
පාසල් දරුවන් ප්‍රවාහනය කරන වාහන සම්බන්ධයෙන් මෙතෙක් තීන්දු තීරණ ගත්තේ ඒ ඒ ප්‍රදේශ වල පළාත් සභා විසින්.නමුත් පාසල් දරුවන් ප්‍රවාහනය කරන වාහන අන්තර් පළාත් තුළත් සේවාවන් සපයන බව අපි අමතක නොකළ යුතුයි.වර්තමානයේදී මෙම නියාමන කටයුත්ත මධ්‍යම රජය විසින් සිදු කිරීම තුළින් මෙතෙක් තිබූ ගැටළු රැසකට පිළියමක් බවටයි අපි විශ්වාස කරන්නේ.
මෙම සාකච්ඡාවට සමස්ථ ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් වසන්ත ඉලංගකෝන්,භාණ්ඩාගාරික කපිල කුමාරසිරි, ජාතික සංවිධායක කමල් ඉලංගරත්න යන මහත්වරුන්ද එක්ව සිටියේය.
ජුඩ් සමන්ත







