රීටා ජෙනට් පෙරේරා
මාර්තු 08 වන දා (අද) ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ලොව පුරා ප්‍රකට ය. නමුත් මෙය අප රටේ කාන්තා ජීවිත කෙරෙහි කොතෙක් දුරට බද්ධ වී තිබේ ද යන්න සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් තිබේ. වරක් මා වයඹ පළාතේ ධීවර කාන්තාවන් පිරිසකගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔවුන්ගෙන් වැඩි කොටසක් පවසා සිටියේ, එවැනි දිනයක් පිළිබඳ තමන් අසා ඇතත් එහි අරුත කුමක්දැයි නොදන්නා බවකි. පසුව මම ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ කිතුනු පියතුමකු දැනුවත් කිරීමට යාමේ දී එතුමන් පවසා සිටියේ, අප රටේ කිතුනු කාන්තාවන්ගේ ජවය, ශක්තිය සේම ආධ්‍යාත්මික සංවර්ධනය පිණිස කැප වූ ‘මරිය හමුදාව’ (Legion of Mary) නම් ප්‍රජා ව්‍යුහයක් පැවතීම මත එවැනි ජාත්‍යන්තර කාන්තා දින සැමරුමක අවශ්‍යතාව ඔවුනට නොදැනෙනු ඇති බවකි. නමුත් විසි වන සියවසේ මැද භාගයේ බිහි වූ දිළිඳුන් වෙනුවෙන් පෙනී සිටීම ඇතුළු ශුද්ධ වූ බයිබලීය දාර්ශනිකත්වය පදනම් කර ගත් විමුක්ති දේවධර්මයේ (Liberation Theology) උතුම් මානුෂීය ප්‍රතිලාභ අපේ රටට හිමි වී නොමැති පසුබිමක මගේ එම පැනය සම්බන්ධයෙන් ලජ්ජා වීම හැරුණු කොට මට කළ හැකි අන් දෙයක් නොතිබුණි. එතුමන්ගේ එම ප්‍රකාශය පසෙක තිබියදී, ජාත්‍යන්තර දිනය පිළිබඳ මෙම නොදැනුවත්කම අප රටේ ගෙවිලියන්ටත්, කඳුකරයේ තේ දලු නෙළන්නියන්ටත්, කම්හල් සේවිකාවන්ටත්, සාමාන්‍ය ගෘහණියන්ටත් එක සේ පොදු තත්ත්වයක් බව නිසැක ය. එය මෙම ජාත්‍යන්තර දිනය හා ශ්‍රී ලාංකික වනිතාව අතර පවතින සබඳතාවේ ස්වභාවය මැනවින් ප්‍රකට කරන්නකි.
1975 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් පිළිගත් පසු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී පෙනී යන එක් දෙයක් තිබේ. එනම් මෙරට ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් බොහෝ විට වර්ණවත් උත්සව, රූපවාහිනී සාකච්ඡා සහ දේශපාලන පොරොන්දුවලට පමණක් සීමා වූ හිස් ව්‍යුහයක් බවයි. ඉකුත් 05 වන දා සරෝජා පෝල්රාජ් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය යම් බලාපොරොත්තුවක් දල්වන සුළු වුවද, පවතින ක්‍රමය තුළ එය ද “නිදන්ගත රෝගයකට ලබාදෙන පැරසිටමෝල් සහනයක්” පමණක් වේදැයි යන සැකය පවතී. සැබෑ කාන්තා දින සැමරුමක් යනු වසරකට වරක් නඟන අඬහැරයක් නොව, වසරේ දින 365 පුරාම කාන්තාවගේ මානුෂීය ගරුත්වය තහවුරු වීමයි.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අන්දමට අදටත් කාන්තාව “මනුෂ්‍යයෙකු” ලෙස සැලකීමේ අවශ්‍යතාව තවමත් සංතෘප්ත වී නැත. ඇගේ එම ප්‍රකාශයම අප සමාජය පවතින පසුගාමීත්වයට කදිම සාක්ෂියකි. වර්තමානය ද ඇතුළත් වන පරිදි දශක අටකට ආසන්න කාලයක් තිස්සේ මෙරට පාලන ව්‍යුහය විසින් කාන්තාව දෙවන පෙළ පුරවැසියෙකු ලෙස තැබීමට කටයුතු කර ඇත. විශේෂයෙන්ම වතුකරයේ දලු නෙළන කාන්තාව, විදෙස් විනිමය මෙරටට ගලා එන්නට සලස්වන මැදපෙරදිග ශ්‍රමිකයා සහ ඇඟලුම් සේවිකාව මෙරට ආර්ථිකයේ ප්‍රධාන ස්ථම්භයන් වුවද, ඔවුන් තවමත් අවම වැටුප් සහ අවම පහසුකම් යටතේ සූරාකෑමට ලක් වන්නාහ. එසේම, නිවස තුළ ඇය ඉටුකරන නිහඬ මෙහෙවර හෙවත් ‘ගෘහ සුරැකුම් ආර්ථිකය’ (Care Economy) ජාතික දළ දේශීය නිෂ්පාදිතයට ඇතුළත් කිරීමේ යෝජනාව හුදු සංඛ්‍යාලේඛනවලට පමණක් සීමා වී තිබේ. එය ඇයගේ විශ්‍රාම වැටුප් අයිතියක් හෝ සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් දක්වා ප්‍රායෝගිකව පරිවර්තනය විය යුතු කාලය දැන් ඉකුත් වෙමින් තිබේ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය අප රටේ කාන්තාවන් ද මනුෂ්‍යයන් සේ සැලකිය යුතු බව පවසනුයේ, වර්තමානයේ කාන්තා දිනය දේශපාලන පක්ෂවලට ‘කාන්තා මනාප’ දඩයම් කිරීමේ මෙවලමක් හෝ රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘති වාර්තා පිරවීමේ මෙවලමක් වශයෙන් පවතින අතරතුර ය. මෙම ආයතන බොහෝ විට අනුගමනය කරන්නේ “ඉහළ සිට පහළට” (Top-Down Approach) යන න්‍යායයි. මෙහිදී සැමරුමේ ස්වභාවය තීරණය කරන්නේ දේශපාලන අධිකාරිය මිස සැබෑ පාර්ශ්වකරුවන් නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ගේ සැබෑ ගැටලු වන ආර්ථික ස්වාධීනත්වය සහ ශරීරය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය වැනි මූලික කරුණු යටපත් වී යයි. ඒ සඳහා කාන්තාවන් කිසිදු පාර්ශ්වයකට ගැති නොවී, තමන්ගේම අයිතිවාසිකම් උදෙසා ස්වාධීන සංවිධානාත්මක ශක්තියක් ගොඩනඟා ගත යුතු ය. එසේ නොමැති වුවහොත් කාන්තාවට සිදුවන්නේ ද ලෝක කම්කරු දිනයේදී අප රටේ කම්කරු ජනතාව මුහුණ දෙන අන්දමට තම සැබෑ අයිතීන් පසෙක තිබියදී පක්ෂ දේශපාලන මාරාන්තික උණ සන්නිපාතයට ගොදුරු වීමට ය.
ව්‍යුහාත්මක විසඳුම් දෙස බැලීමේදී, කාන්තා කොමිසමක් පිහිටුවීම හෝ ක්ෂුද්‍ර ණය නියාමනය පිළිබඳ කතා කිරීම යහපත් වුවත්, අදටත් ඒ සංකල්ප මර නින්දේ ය. කාන්තාව ණය ගැතියෙකු කර මාරාන්තික පීඩනයකට පත් කරනවා වෙනුවට, ඇය සෘජු නිෂ්පාදන ආර්ථිකයකට සම්බන්ධ කර සෘජු ප්‍රතිලාභ හිමි කර දීම පිණිස රාජ්‍ය මැදිහත්වීමක් අත්‍යවශ්‍ය වේ. එමෙන්ම රාත්‍රී සේවයේ නිරත කාන්තාවන්ගේ ආරක්ෂාව සහ සේවා ස්ථානවල සිදුවන හිංසනයන්ට එරෙහි නීති කඩදාසිවලට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතුය.
සැබෑ නිදහසක් උදෙසා දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ග්‍රාමීය මට්ටමේ සිට පාර්ලිමේන්තුව දක්වා අව්‍යාජ නියෝජනයක් කාන්තාවට හිමි විය යුතුය. නමුත් ඒ සමස්ත ශ්‍රී ලාංකික කාන්තා පරපුරේ ගරුත්වය කෙලෙසමින් නන් දොඩවන “ඔළු ගෙඩි” වශයෙන් නොවේ. පිරිමියෙකුගේ වැරදි අඩුපාඩු පුරුෂ පක්ෂයට බැර නොවුව ද කාන්තාවකගේ වැරදි අඩුපාඩු සමස්ත කාන්තා පක්ෂයට බැර කිරීමේ සමාජමය නැඹුරුව ද අප මෙහි දී වටහා ගත යුතුය. මේ සියලු තත්ත්වයන් යටතේ එකම ශ්‍රමයකට ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව සමාන වැටුප් අයිතිය සහතික කිරීම, නිවෙස්, සේවා ආයතන හා පොදු ප්‍රවාහනය තුළ ලිංගික හිංසනයෙන් තොරව පසුවීමේ නිදහස තහවුරු කිරීම රජයක වගකීමකි. මේ සම්බන්ධ ඉදිරි පියවරක් ලෙස, ඕනෑම සැමරුමකට පෙර අදාළ ප්‍රජාවන් සමඟ සාකච්ඡා වට (Focus Group Discussions) පවත්වා ඔවුන්ගේ සැබෑ අවශ්‍යතා හඳුනාගත යුතුය. වේදිකාවක සිට දේශන පැවැත්වීම වෙනුවට, ජනතාවට තම අදහස් ප්‍රකාශ කිරීමට හැකි “විවෘත සංසද” (Open Forums) නිර්මාණය කිරීමෙන් පමණක් සැමරුමක සැබෑ හිමිකම (Ownership) එම ප්‍රජාවට ලබා දිය හැකිය. ඒ සම්බන්ධයෙන් අපගේ අනුමානය වනුයේ, ජාත්‍යන්තර දිනය හා ශ්‍රී ලාංකික වනිතා සමාජය නිසි පරිදි බද්ධ නොවනුයේ ඔවුන්ගේ සැබෑ හඬ මෙතුළින් ඉස්මතු නොවන නිසාම විය හැකි බවයි. අවසාන වශයෙන්, සැමරුමකින් මතු වන කරුණු හුදු වාර්තාවකට සීමා නොකර, ඒවා රජයේ ඉදිරි ප්‍රතිපත්ති සම්පාදනයට අනිවාර්යයෙන්ම ඇතුළත් කර ගැනීම තුළින් පමණක් කාන්තාවට යම් පමණක හෝ යුක්තිය ඉටු කළ හැකි වනු ඇත. නමුත් එවැනි ක්‍රියාදාමයක් උදෙසා මේ වන විටත් සමාජයේ කිසිදු පාර්ශ්වයක් නිසි පියවර නොගෙන ඇති බව සහතික ය. ඉතින් මෙවන් තත්ත්වයක් තුළ ජාත්‍යන්තර කාන්තා දිනය යනු ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට “සැබෑම නිදහස” යන තේමාව යටතේ වෛවාරණ සනීපාරක්ෂක තුවා හඳුනා ගැනීමට ඇති අවකාශය ඉහළ නංවන දිනයක් වනු ඇත.
රීටා ජෙනට් පෙරේරා
vinivada.lk







