බහු දින යාත්‍රා වලින් මසුන් මැරීම සදහා යන මෙරට ධීවරයින් පසුගිය දින කීපය තුළම විවිධ ගැටළු වලට මුහුණ දුන් බවත්,මේ ආකාරයට ඉදිරියේදීත් කටයුතු සිදු වුවහොත් බහු දින ධීවර කර්මාන්තය අතහැර දමන්නට සිදු වන බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා පැවසීය.
මෙරට මුහුදු සීමාවේදී පසුගිය 29 වැනිදා ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් බහු දින යාත්‍රා දෙකක ධීවරයින්ට පහර දී තිබුණි.
දිනිති දුව සහ දිනිති දුව 1 බහු දින යාත්‍රා දෙක ඉකුත් දෙසැම්බර් මස 03 වැනිදා වෙන්නප්පුව – වෙල්ලමංකරය වරායෙන් මසුන් මැරීම සදහා ජාත්‍යන්තර මුහුදට ගොස් ඇත.එම යාත්‍රා දෙකෙහි ධීවරයින් 12 දෙනෙකු සිට ඇත. ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමෙන් අනතුරුව ඔවුන් මෙරටට පැමිනෙමින් සිටියදී පහර දීම සිදුවී ඇති බව ධීවරයින් සදහන් කරයි.
පහර කෑමට ලක්ව ඇත්තේ වර්ණකුලසූරිය නිහාල් පීරිස් (අවු:51),එස්.ෂෙවාන් තිවංක (අවු:අවු:31)වර්ණකුලසූරිය අරවින්ද පුෂ්ප කුමාර(අවු:40),බටුවත්තගේ රන්දික මධුසංඛ ප්‍රනාන්දු (අවු:32),ජුඩ් සරත් (අවු:53),ජෙරාඩ් අරුණ (අවු:40) ජුඩ් නිරෝෂන් (අවු:54)රෝහණ සුමිත් (අවු:64),රුවන් ප්‍රියංකර (අවු:33) නම් ධීවරයින් පිරිසකි.ඒ අතරින් පහර කෑම හේතුවෙන් බරපතල තත්ත්වයේ පසුවූ ධීවරයින් සිව් (04) දෙනෙකුව නාවුක හමුදාවේ යාත්‍රාවක් විසින් මෙරටට රැගෙන විත් ගාල්ල – කරාපිටිය මහා රෝහලට ඉකුත් 31 වැනිදා ඇතුළත් කර ඇත.සෙසු ධීවරයින් ඔවුන් ගමන් කළ යාත්‍රා වලිින්ම 01 වැනිදා දහවල් වෙන්නප්පුව – වෙල්ලමංකරය වරායට පැමිණියේය.අනතුරුව ඔවුන්ව ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහල වෙත රැගෙන යන ලදි.


මෙම අවස්ථාවට බහු දින යාත්‍රා හිමිකරුවන්,පහර කෑමට ලක්වූ ධීවරයින්ගේ ඥාතීන්ද වෙල්ලමංකරය වරායට පැමිණ සිටියේය.
මෙහිදී සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා මෙසේද පැවසීය.

මෙම පහර දීම සිදු වෙලා තියෙන්නේ අපේ මුහුදු සීමාවෙදි.යාත්‍රා දෙකම අපේ මුහුදු සීමාවට ඇතුළු වුණාට පස්සේ ඉන්දීය වෙරළ ආරක්ෂකයින්ට අයිතියක් නෑ යාත්‍රා පරීක්ෂා කරන්න හෝ ධීවරයින්ට පහර දෙන්න.මේ වෙලාවේ දේශපාලකයින් කළ යුත්තේ එක එක ප්‍රකාශ නිකුත් කිරීම නෙමෙයි.ඇයි අපේ සීමාවට ඇතුළු වෙලා පහර දුන්නේ කියන එක හොයලා බලලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන එකයි.පසුගිය දින කීපය තුළම මේ ආකාරයට පහර දීම් කීපයක් වෙලා තියනවා.දියාගේආසියා ප්‍රදේශයේදී තවත් යාත්‍රාවක සිටි ධීවරයින්ට පහර දුන්නා කියලා දැන ගන්න ලැබිලා තියනවා.අපි උත්සාහ කරමින් ඉන්නේ එම යාත්‍රාවේ සිටි පිරිස කඩිනමින් මෙරටට ගෙන්වා ගන්නයි. මේ ආකාරයට සිද්ධ වුනොත් අපිට බහු දින යාත්‍රා කර්මාන්තය අතහරින්න වෙනවා.අපි අමතක නොකළ යුතුයි මේ ධීවරයින් ගිහිං තියෙන්නේ අපේ රටට ඩොලර් හොයන්න කියන එක.
පහර දීම සිදු වන විට දිනිති දුව යාත්‍රාවේ සිටි ධීවරයෙකු මෙසේ පැවසීය.
ඒ අය ඇවිත් අපෙන් සැටලයිට් ෆෝන් ඉල්ලුවා.මොනවද තියෙන්නේ කියලා විමසමින් පහර දුන්නා.අපේ දැල් ආම්පන්න ඒ අය කපලා විනාශ කරලා දැම්මා.අපි අල්ල ගෙන හිටපු මාළුවත් කපලා දැම්මා.ඒ අය අතර සිටි දෙන්නෙක් හොදට සිංහල කථා කලා.අනිත් අය නම් කියපු කිසිම දෙයක් අපිට තේරුනේ නෑ.පිස්තෝල වලින්,පිහි වලින් සහ හොකී පිති වලින් තමයි ඒ අය අපිට පහර දුන්නේ.
වෙල්ලමංකරය වරායට රැස්වී සිටි පිරිස කෙටි වේලාවක් විරෝධතාවයකද නිරත විය. ඔවුන් සියළුම දෙනා කියා සිටියේ තම ඥාතීන්ට පහර දීම තරයේ හෙලා දකින් බවත් රජය මේ සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත් විය යුතු බවත්ය.

ජුඩ් සමන්ත







