කොබෙයිගනේ – කූරියාගහමුල ප්‍රදේශයේ දැදුරුඔය මංකඩකදී දිය නාමට ගිය පිරිසෙන් දියේ ගිලීමෙන් පුද්ගලයින් පස් (05) දෙනෙකු මිය ගොස් තවත් 06 දෙනෙකු අතුරුදහන්වී ඇති බව පොලීසිය සදහන් කරයි. මෙම සිදුවීම ඉකුත් අප්‍රියල් 16 වැනිදා කොබෙයිගනේ,කුට්ටිගල සහ මහව ප්‍රදේශ වලදී මෙම අනතුරු සිදුවී ඇත.
කොබෙයිගනේ – කූරියාගහමුල ප්‍රදේශයේ දැදුරුඔය මංකඩේ දිය නාමින් සිටි පිරිසක් අතුරුදහන්වී ඇති බව 16 වැනිදා සවස කොබෙයිගනේ පොලීසියට තොරතුරක් ලැබී ඇත.අතුරුදහන්වී ඇත්තේ පිරිමි පුද්ගලයින් සිව් (04) දෙනෙකු,කාන්තාවන් තිදෙනෙකු (03) සහ පාසල් දරුවන් තිදෙනෙකු (03)ය.ඒ අතරින් පිරිමි අයෙකු සහ කාන්තාවක් බේරා ගෙන නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති අතර,කාන්තාවකගේ සහ පිරිමි අයෙකුගේ සිරුර සොයා ගෙන ඇති බව පොලීසිය කියයි.අතුරුදහන්වී ඇති පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු,කාන්තාවක් සහ පාසල් දරුවන් තිදෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවද පොලීසිය සදහන් කරයි.
අනතුරට ලක්ව ඇත්තේ කඩවත සහ කොබෙයිගනේ පදිංචිකරුවන් පිරිසකි.
මේ අතර,16 වැනිදා දහවල් කාලයේ කුට්ටිගල පොලිස් වසමේ කච්චිගල වැවේ දිය නාමින් සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුද දියේ ගිලී මිය ගොස් ඇත.ඔවුන් රදාවාන සහ ඉඹුල්ගොඩ ප්‍රදේශ වල පදිංචිකරුවන්ය. මහව පොලිස් වසමේ උඩුවේරිය වැවේ දිය නෑමට ගිය මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද 16 වැනිදා උදෑසන දියේ ගිලී මරුමුවට පත්ව ඇත.
දියේ ගිලීමෙන් අනතුරට පත්ව ඇති සියළුම දෙනා සිංහල අළුත් අවුරුදු සැමරීම සදහා තම තමන්ගේ ඥාතීන් සහ හිතවතුන්ගේ නිවෙස් වලට ගොස් සිටි අය වීමද විශේෂත්වයකි. අවුරුදු සැමරීම සදහා පිටස්තර ප්‍රදේශ වලට යන පුද්ගලයින් නොදන්නා ස්ථාන වල දිය නෑමෙන් වැළකී සිටින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.
ජුඩ් සමන්ත







