මෙරට HIV වෛරසය ආසාදනය වූ පුද්ගලයන් අතරින් වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී HIV වෛරසය පැතිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
පවතින වාර්තාවලට අනුව කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි පුද්ගලයන් අතර HIV ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් අතර HIV ආසාදන මෙන්ම හෙපටයිටීස් බී ආසාදන ද හඳුනාගෙන ඇති බව ඔහු පැවසීය.
2025 වසරේදී මෙරටින් නව HIV ආසාදිතයන් 874 දෙනෙකු වාර්තා වී ඇති බවත්, මේ වසරේදී එම සංඛ්‍යාව මෙතෙක් ඉක්මවා ගොස් නොමැති නමුත් වසර අවසානය වන විට එය ඉහළ යා හැකි බවට යම් අනුමානයක් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ අතර, ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය පසුගියදා සඳහන් කර තිබුණේ මෙරට HIV ආසාදිතයන් වාර්තා වීම වසරින් වසර ඉහළ යන ප්‍රවණතාවක් පවතින බවයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් HIV ආසාදිතයන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ද ඇය පෙන්වා දී තිබුණාය.
සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වන ඇතැම් සාදවලදී මත්ද්‍රව්‍ය භාවිතය සිදුවන බවත්, එවැනි ක්‍රියාකාරකම් සහ HIV පැතිරීම අතර සම්බන්ධයක් පැවතිය හැකි බවට විශ්වාසයක් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් දෙමාපියන්, වැඩිහිටියන් සහ තරුණ තරුණියන් අවධානයෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එක් පුද්ගලයෙකු හෝ අලුතින් HIV ආසාදනය වීම ඉහළ යාම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළේය.







