ගොකරැල්ල පොලිසියේ ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනිය ඇතුලු එම පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරින් සහ නිලධාරිනියන් 17 දෙනෙකුට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඊයේ ( 13 දා) සිට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතාගේ නියෝගයකට අනුව මෙම නිලධාරිහු ඊයේ දිනයේ සිට පොල්ගහවෙල , වැල්ලව, වාරියපොල, කුරුණෑගල, රිදීගම පොතුහැර සහ මීගලෑව යන පොලිස් ස්ථානයන් වෙත ස්ථාන මාරුකර යවා තිබේ. ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරින් අතරට, මැල්සිරිපුර පොලිස් මුරපොලෙහි ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා, ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ කාන්තා උප පොලිස් පරීක්ෂකවරිය සහ පොලිස් සැරයන් හා පොලිස් කොස්තාපල්වරු පිරිසක්ද ඇතුළත්ව සිටිති. ස්ථාන මාරුවීම් ලැබූ 17 දෙනාගෙන් අට දෙනෙකුම කාන්තා නිලධාරිනියන් වීමද විශේෂත්වයකි. ඉකුත් යුද සමයේදී ආබාධීත තත්වයන්ට පත්වූ නිලධාරින් පිරිසකටද ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ගොකරැල්ල පොලිසියේ සේවය කරමින් සිටි නිලධාරින් විශාල පිරිසකට එකවර ස්ථාන මාරුවීම් ලැබුණු පළමු අවස්ථාව මෙය බවද වාර්තා වෙයි.
ගොකරැල්ල පොලිසියේ නිලධාරින්ගේ හදිසි ස්ථාන මාරුකිරීම පිළිබදව විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාගෙන් විමසීමට උත්සාහ කළ නමුත් හෙතෙම සම්බන්ධ කරගත නොහැකි විය. මීනිමැරීම් සහ තවත් අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මැල්සිරිපුර, මඩහපොල ප්‍රදේශයේ කලු බණ්ඩා නැමැති සැකකරුවෙකු මේ දක්වා අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම මෙම ස්ථාන මාරුවීම් කිරීමට ආසන්නම හේතුව වී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.








