සුජීවා බෝදිනී වයස අවුරුදු 56ක් වියැති දරුවන් තිදෙනෙකුගේ මවක් . ඇය පදිංචි වෙලා ඉන්නේ ලුණුවිල ග්‍රාමයේ. ඇය මට හමුවුනේ වෙන්නප්පුව කුඩා ව්‍යාපාර සංගමයෙන් මාසිකව පවත්වන වෙළඳ පොළේදී. පාපිසි අලුත් විදහට නිර්මාණය කරන්න සුජීවාත් ඇගේ දියනියත් දැනට වසර 3ක ඉදන් දරන උත්සාහය සාර්ථක බව එහිදී දැකගන්නට ලැබුණා. පසුගිය දෙසැම්බර් මස රටම මුහුණ දුන් දිට්වා සුළි කුණාටුව සුජීවාගේ මෙම පාපිසි ව්‍යාපාරයටත් බලපෑවා. ඒ සඳහා රජයෙන් ලැබෙන වන්දි මුදල් ද ඉල්ලුම් කර ඇති බවත් ඇය අප හා පැවසුවා. විවිධාකාරවූ අභියෝග මැද මෙම ව්‍යාපාරය දිගටම කරගෙන යාමට ඔවුන් දරන උත්සාහ අගය කළ යුතු මෙන්ම අන්අයටත් ආදර්ශයක් පිනිස මෙම සාකච්ජාව පැවැත්විමට අදහස් කළා. මේ සුජීවාගේ කතාවයි.
මේ කොහු ලණු පාපිසි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය ආරම්භ කළේ කොහොමද ? කවදාද ?
මේකට පසුබිම් වුණේ මගේ මහත්තයා ගෙදර ලණු නිෂ්පාදන ව්‍යාපාරයක් කිරිමයි. එයා කාලයක් හමුදාවේ සේවය කරලා අයින් වුනාට පස්සේ ලණු නිෂ්පාදනය කරලා පිටරට යවන්න පටන් ගත්තා. 2020 ඉදලා 2024 වෙනකම් මහත්තයා ඒක කළා. ඕඩර් තිබුණා. පිටරට ඇරියා. ඊට පස්සේ ලංකාවේ ආර්ථික කඩාවැටීමක් සිද්ධ වුනාට පස්සේ ඩොලර් අර්බුදයක් ආවා. ඒකත් එක්කම මහත්තයා කරගෙන ආපු ලණු ව්‍යාපාරය නතර වුණා. පිටරට ඕඩ්ර් වලට බඩු දෙන්න බැරිවුනා. ඒ ව්‍යාපාරයේ නම ඔනිල්ටා. ඊට පස්සේ අපි ඒ ලණුත් පාවිච්චි කරලා පාපිසි හදන්න පටන්ගත්තට පස්සේ, දුවත් ඒකට උනන්දු වුනා. ඊට පස්සේ තමයි අපි ඒ ව්‍යාපාරය අහෝසි කරලා මැට් 1 (MAT 1 ) කියන නමින් අලුත් ව්‍යාපරයක් ලියාපදිංචි කළේ.
පාපිසි නිර්මාණය කරන්න කොහොමද ඉගෙන ගත්තේ ?
2022 දී වගේ අපිට මෝස්තර මධ්‍යස්ථානයෙන් පුහුණුවක් පැවැත්වුවා. ඒක දවස් 05ක වැඩමුලුවක්.මැෂින් එකෙන් මහන පාපිස්ස කරන හැටි ඒවගේම ලණු පාට කරන විදිහත් ඒ පුහුණුවෙන් තමා ඉගෙන ගත්තේ.
මටත් මහන්න අමාරුයි. මගේ අසනීප තත්ත්වය නිසා. ඒ නිසා මොකක්ද කරන්න ඕනා ක්‍රමය කියලා කල්පනා කරලා තමයි අපි මේ ලණුව රෙද්දක අලවන එක පටන් ගත්තේ. මේ ක්‍රමය අපිම තමයි හොයාගත්තේ
දුව උසස් පෙළ කළාට පස්සේ වෙන්නප්පුව ප්‍රා.ලේකම් කාර්යාලයේ අපනයන අංශයේ මිස්ව හමුවුණා.ඊට පස්සේ සුළු හා මධ්‍යපරිමාන ව්‍යාපාර අංශයේ මිස්වත් හමුවුණා. එයාලගේ සහයෝගයෙන් ඉට පස්සේ එතනින් දුවට ලැබුණා දවස් 12ක පුහුණුවක්. පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තෝරගත්තා ව්‍යවසායකත්ව වැඩමුළුවකට. ඒ අතරේ අපි පාපිසි හදන වැඩේ කරගෙන ගියා.
ඊළගට අපිට වෙන්නප්පුව ප්‍රා.ලේකම් කාර්යාලයෙන් අවස්ථාවක් දුන්නා අපේ නිශ්පාදන අළෙවි කිරීමට, කලබ් ෆාම් බේ හෝටලයේ. මාසයකට දවසක් වගේ එහෙම ගියා. එතෙන්ටත් පුත්තලම් දිස්ත්‍රික්කයේම කට්ටිය 10-12ක් එකතු වුණා. විදේශිකයෝ අපේ නිර්මාණ වට කැමතියි කියලා අපි දැනගත්තේ එතනින් තමයි.
ඊට පස්සේ අපි ඩොල්ෆින් හෝටලයටත් ගියා අපේ නිෂ්පාදන අළෙවි කරන්න.
ඒ අතරේ අපේ වෙන්නප්පුවේ කුඩා ව්‍යාපාර සංගමයෙන් මාසෙකට එක දවසක් ගානේ වෙළදපොලක් කළා. ඒක ගිය අවුරුද්දේ ඉදන් තියෙනවා. ඒක කරන්නේ වෙන්නප්පුවේ මහජන බැංකුවේ භුමියේ.ඊට අමතරව අපි කුඩා ව්‍යාපාර නිලධාරිනියගේ මූලිකත්වයෙන් මාසෙකට සැරයක් අපිව රැස්කරනවා. ඒකෙදි අපේ දියුනුවට අදාළව කරුණු කාරනා සාකච්ඡා කරනවා.
මේ සඳහා අමුද්‍රව්‍ය කොහොමද ලබාගන්නේ ?
මුල් කාලේ ලණු කිලෝ එක 300 ගානේ ගත්තා. නමුත් දැන් එහෙම ලැබෙන්නේ නැහැ. එකකට එකක් ගණන් ගිහින් තියෙන්නේ. අමුද්‍රව්‍ය ගොඩාක්ම අපි ගන්නේ කොළඹින්. අමුරෙදි ,ඩයි, ලණු සුදුකරන්න ඕනා කරන කෙමිකල් .චීන ඩයි එක තමයි අපි ගන්නේ. ඒකට පාට යන්නේ නැහැ.
මේ ව්‍යාපාරයට දැන් ඔබේ දියනියගේ හැකියාවත්, ශ්‍රමයත් එකතු වෙලා තියෙන්නේ. කොහොමද එහෙම වුනේ?
ඇයගේ නම තෙහස්නා සනුපදී අධිකාරී. දුව විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හදාරනවා. තාම පළවෙනි අවුරුද්ද. එයා මූලික අධ්‍යාපනය ලැබුවේ කිරිමැටියාන බෞද්ධ බාලිකා විද්‍යාලයෙන්. එයා විශ්වවිද්‍යාලයේ , මෝස්තර නිර්මාණය විෂය තමා ප්‍රධානකොට හදාරන්නේ. එයාට ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනා කියන අදහස උසස් පෙළ කරන කාලේ ඉදලම තිබුණා. ඉස්කෝලේ යන කාලෙත් එයා විවිධ නිර්මාණ වලට දක්ෂයි. ඒවා අළෙවි කරන්න ඕනා කියන අදහස එයාට තිබුණා.
එයා ලණු පාට කරනවා, පාටත් තෝරගන්නවා. අපි දෙන්නම එකතු වෙලා ඩිසයින් තෝරනවා.පින්තූර තෝරගන්නවා. එයා මට අමුරෙදි වල ඇදලා දෙනවා. ඇදලා පටත් ලියනවා රෙද්දෙම. පාපිස්ස වියන එකටත් මට සියල්ලම ලංකරලා දෙනවා. මම ඉදගෙන වියනවා.

ඔබ රෝගී වුණේ කොහොමද ?
මම අසනීප වුණේ මම මුලින්ම වැටුනා.දැන අවුරුදු 20කට කලින් වගේ ඒක වුණේ. ඒ කාලේ ගෙදර වැඩ අධික නිසා මම ඒක ගණන් ගත්තේ නැහැ. පස්සේ පස්සේ කකුල උස්සලා යන්න අමාරුවුණා. මාංශ පේශි තදවෙලා. ස්නායූ අඩපන වෙන තත්ත්වයටම ආවා. නැගිටගන්න බැරුව ගියා. ගොඩාක් ප්‍රතිකාර කළා. දැන් ටිකක් හොදයි. නමුත් හෙමින් හැමදේම කරගන්නවා.
පාපිස්ස කරන්නේ මේසයක් උඩ තියාගෙන. මම ඉදගෙන තමයි ඒකේ වැඩ ටික කරන්නේ. කාලය යනවා නමුත් අපහසුව අඩුයි. මම ගෙදර වැඩත් කරගෙන කරන නිසා පාපිසි දෙකක් විතර දවසකට ඉවර කරන්න පුලුවන්. නැත්නම් පාපිසි 4 ක් දවසට කරන්න පුලුවන්.
පාපිසි සහ බිත්ති සැරසිලි යන දෙවර්ගයම නිර්මාණය කරනවා. මේවට අළෙවිය කොහොමද?
පාපිසි වලට හෝටල් වලින් ඉල්ලුමක් තිබෙනවා. ඒ ඕඩර් අපි බාර අරගෙන කරනවා. ඒ වගේම බිත්ති සැරසිලි නිර්මාණයට දුව අලුත් තේමාවල් , අලුත් පාට, නව නිර්මාණ එකතු කරලා තියෙනවා. විශේෂයෙන් පොඩි දරුවන් ආසා වෙන මාතෘකා සහ පාට එකතු කරලා නිර්මාණය වෙන පාපිසිත් දැන් අපි කරනවා.
ඔබේ පවුලේ තොරතුරු කොහොමද?
මගේ ගම ගම්පහ. මම ඉගෙන ගත්තේ හලාවත සාන්ත මරියා කොන්වන්ට් එකේ. විවාහ වෙලා තමයි මෙහෙට ආවේ. පුතාලා දෙන්නාගෙන් එක්කෙනෙක් ඉගෙන ගෙන ඉවර වෙලා රැකියාවක් කරනවා. පොඩි පුතා තාම ඉගෙන ගන්නවා. දුව විවෘත විශ්ව විද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපනය ලබනවා.

















