ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්රය නිසි නියාමනයකට යටත් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙන බවට වාර්තා වේ. මෙරට ග්‍රාමීය ජනතාව සහ විශේෂයෙන්ම කාන්තා පාර්ශවය මුහුණ දෙන බරපතළ සමාජ ආර්ථික ගැටලුවක් බවට පත්ව ඇති ක්ෂුද්‍ර මුළ්‍ය ණය ක්ෂේත්රය නිසි ලෙස නියාමනය කිරීම සඳහා නව ක්ෂුද්‍ර මුල්‍ය සහ ණය නියාමන අධිකාරි පනතක් හඳුන්වාදීමට රජය පියවර ගනිමින් සිටින බවට වාර්තා වුණි.
අධික පොළී අනුපාත යටතේ ලබා දෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා ග්‍රාමීය ජනතාව ණය බරින් පීඩාවට පත්වීම, සතිපතා හෝ මාස්පතා ගෙවීම් කළ නොහැකිව දැඩි ආර්ථික සහ මානසික පීඩාවන්ට ලක්වීම් පිළිබඳ සිද්ධීන් පසුගිය කාලයේදීත් එමෙන්ම වර්තමානයේදීත් සුලභව වාර්තා වුනි. එමෙන්ම මෙවැනි සිද්ධීන් නිසා සමහර අවස්ථාවන් වලදී සියදිවි නසාගැනීම් ද සිදු වුණි.
කෙසේ වෙතත් නියාමනයට ලක් නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් අධික පොළී අනුපාත, නීති විරෝධී තැන්පතු භාරගැනීම් සහ අසාධාරණ ණය අයකිරීම් වැනි ක්‍රියාකාරකම් සිදු විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව මගින්ද පෙන්වා දී තිබේ. එලෙසම ශ්‍රී ලංකා මහා බැංකුව වැඩිදුරටත් අවධාරණය කරන්නේ
එවැනි ක්‍රියාකාරකම් නිසා අඩු ආදායම්ලාභී ජනතාව තවදුරටත් දරිද්‍රතා චක්‍රය තුළ රඳවා තබාගෙන මූල්‍ය පද්ධති ස්ථායීතාවයටද එමගින් තර්ජනයක් වන බවයි. කෙසේ වෙතත්
ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්රය නිසි නියාමනයකට යටත් කිරීම මගින් අධික පොළී සහ අසාධාරණ ණය ක්රමයන් වැළැක්වීමත්, අඩු ආදායම්ලාභී ජනතාවගේ මූල්‍ය ආරක්ෂාව සහ විශ්වාසය තහවුරු කිරීමත් හැකි වනු ඇත. තවද රජය විසින් ගෙන එනු ලබන මෙම නව ක්ෂුද්‍ර මුල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත මගින් ශ්‍රී ලංකාව තුළ නියාමනයට ලක් නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරවල නිරත වන ආයතන නියාමනය කිරීමට සහ අධීක්ෂණය කිරීමට හැකි වන බවද මූල්‍ය විශේෂඥයින්ගේ මතය වී තිබේ.








