Sunday, June 8, 2025

බලු සුරතලුන් වෙනුවෙන් අපූරු කතාවක්

Must read

ඉයන් ගිය සතියේ මැරුණා..

ඉයන් කියන්නේ අපේ අක්කගේ බාල බල්ලා.. තව වැඩිමහල් බල්ලෙකුත් ඉන්නවා. උගේ නම ජේක්

ඉයන් ගෝල්ඩන් රිට්රීවර් බල්ලෙක්.. ඉයන් මැරෙද්දි වයස අවුරුදු 3 යි.. අවුරුදු තුනක් කියන්නේ බල්ලෙක් මැරෙන්න ඕන වයසක් නෙමෙයි.. ඊයේ ඉයන් වෙනුවෙන් අපේ අක්කලෑ ගෙදරට හාමුදුරු කෙනෙක් වඩම්මලා බණක් කියෙව්වා. අහල පහළ අය බණ අහන්න ආවා. ආපු අයට කෑමත් හදලා තිබ්බා. මටත් කෑම එකක් හම්බ වුණා.

ඩෝරා ඉන්නේ අපේ ගෙදරට ඉස්සරහ ගෙදර.. ඔය ඩෝරගේ පුතෙක් තමා ඉයන්.. අපේ අක්කලා ඉයන්ව හදාගන්ඩ ගද්දි උගේ වයස සති කිහිපයක් වගේ ඇති. කිරි ඇරිලා තිබ්බෙත් නැහැ. ඒත් ඩෝරට නොපෙන්නන ඉයන්ව මාසයක් විතර හංඟලා තිබ්බා ඩෝරාට ඉයන්වත්, ඉයන්ට ඩෝරවත් අම්මයි-පුතයි කියන එක අමතක වෙලා ගියා. පස්සේ කාලේ දෙන්නට දෙන්නා දැක්කාම බුරන්න ගත්තා. බල්ලන්ට හොඳ මතකයක් තියෙනවා කියලා හැමෝම කිව්වට ඒක එහෙම නැහැ කියලා මම දැන ගත්තේ ඔය සිද්ධියෙන් පස්සේ. අම්මා-පුතා කියලා අමතක වෙනවා බල්ලන්ට කොහොමද මිනිස්සු මතක හිටින්නේ…?

මම බල්ලන්ට කැමැති නෑ.. ඒත් මගේ පුතා සත්තුන්ට කැමැතියි. එයා ගාව පූසෝ 6 දෙනෙක් හිටියා. මගෙන් බල්ලෙකුත් ඉල්ල ඉල්ල හිටියේ. මම අරගෙන දුන්නේ නැහැ. පුතා ලංකාවෙන් යන්ඩ කලින් ඉයනුයි ජේකුයි මගේ ගෙදරට එක්ක එනවා. උන් දෙන්නා ඇවිත් මගේ ඇඳ උඩ, මට පේන්ඩ කොල්ලා එක්ක සෙල්ලම් කරනවා.. කොල්ලට ආදරේ නිසා මම බල්ලෝ දෙන්නට ඕන මඟුලක් කරගනින් කියලා නොදැක්කා වගේ හිටියා..

මම බලු පැටවුන්ට ආසයි.. ඒත් උන් ලොකු වෙලා මාව දැක්කාම ඇඟේ නගින්ඩයි, මාව ලෙවකනවටයි මම ආස නෑ.. ඉයනුයි ජේකුයිත් එහෙමයි.. උන් දෙන්නා ලොකු වෙද්දි මාත් එක්ක හුරතල් වෙන්ඩ ආවා. ඒත් වැඩිකල් නොගිහින් ඉයන් දැනගත්තා මම බල්ලෝ එක්ක හුරතල් වෙන මිනිහෙක් නෙමෙයි කියලා. බල්ලෝ දෙන්නා ලොකු වෙද්දි මම අක්කලගේ ගෙදරට යන එක අඩු කළා. ඒත් හිටපු ගමන් ගියාම මාව දැක්කාම ඉයන් ඉස්සරහට එනවා. ඒ ඇවිත් ඇස් දෙක ලොකු කරලා මා දිහාව බලනවා. ඊට පස්සේ කට අක්කරයක් විතර පළල් කරලා ලොකු ඈනුමක් ඇරලා හොම්බ බිම තියාගෙන මගේ දිහා බලන් ඉන්නවා. සමහර විට ඌ හිතන්න ඇත්තේ මම ඌව අතපත ගාලා හුරතල් කරයි කියලා. ඒත් මම බල්ලෝ හුරතල් කරන්නේ නැති නිසා ඉයන් ලොකු වුණාට පස්සේ කවදාවත් අතපතා ගාලා හුරතල් කරලා නැහැ. ඒත් දැන් හිතෙනවා එක දවසක් හරි එහෙම කළා නම් ඉවරයි කියලා. ඒත් ඉතින් කවුද දන්නේ ඉයන් එච්චර ඉක්මනට මැරෙයි කියලා.

ඉයන් හරි කීකරු බල්ලෙක්. ගේට්ටුව ඇරිලා තිබ්බත් එළියට පනින්නේ නැහැ. ජේක් එහෙම නෙමෙයි. නිකන් හරි ගේට්ටුව ඇරලා තිබ්බොත් එළියට පැනලා පිස්සුවෙන් වගේ හතර අතේ දුවනවා. මගේ බයික් එක එළියේ තිබ්බොත් හිටපු ගමන් ඉස්සරහ ටයර් එකට චූත් කරලා යනවා.

ඉයන් ලෙඩ වෙන්ඩ ගත්තේ දැන් මාස 2-3 කට කලියෙන්. ඉස්සෙල්ලම ටික් ෆීවර් හැදුණා. ඊට පස්සේ එක එක ජාතියේ ලෙඩ හැදෙන්ඩ ගත්තා. අන්තිම කාලේ කිඩ්නි ෆේලියර් එකක් ආවා. හාර්ට් එකේ ප්‍රශ්නත් තිබ්බා. හැබැයි මැරුණේ නියුමෝනියාව නිසා කියලා තමයි වෙට් කිව්වේ. ඕවා සැරින් සැරේ මට කිව්වේ අක්කා. ඒ කියන හැම වෙලාවකම මම කළේ බැරි මඟුල් මොකටද පටන් ගත්තේ කියලා අක්කට බනින එක.

අපේ අක්කලා සල්ලි යහමින් තියෙන අය නෙමෙයි.. ඉයන් පොඩි කාලේ ඉඳලා නිතර නිතර අසනීප වුණා.. අපේ අක්කලා සෑහෙන ගානක් බෙහෙත්වලට වියදම් කළා.. අන්තිම කාලේ ඉයන්ට බෙහෙත් කළේ අක්කගේ වළල්ලක් උකස් තියලා. මිනිස් අසනීපවලට වඩා බල්ලන්ගේ අසනීපවලට බෙහෙත් ගන්න සල්ලි වියදම් වෙනවා කියලා මම දැනගත්තේ ඉයන් ලෙඩ වෙද්දි..

මම බල්ලන්ට ආස නෑ.. ඒත් බල්ලන්ට ආශ මිනිස්සු ඕන තරම් ලංකාවේ ඉන්නවා.. බල්ලෝ වෙනුවෙන් කතා කරන සංගම් තියෙනවා.. ඒත් ඒ මිනිස්සු පෝය දවසට බත් ටිකක් උයාගෙන පාරවල්වල ඉන්න බල්ලන්ට කන්ඩ දෙනවා හැරුණාම, බල්ලන්ට අකමැති අපි වගේ මිනිස්සුන්ගේ ළමයින්ටත් හෙන ඉල්ලනවා හැරෙන්ඩ බල්ලෝ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ..

ඇයි ඒ අයට බැරි අපිට බැන බැන ඉන්න වෙලාවේ බල්ලෙක් ඇති කරන්ඩ නගර සභාවෙන් අනුමැතියක් ගන්න ක්‍රමවේදයක්, බල්ලව නඩත්තු කරන්ඩ තරම් ආදායමක් තියෙනවද බලන්ඩ ක්‍රමවේදයක් හදන්ඩ කියලා ආණ්ඩුවට බලපෑම් කරන්න බැරි. මිනිස්සු අසනීප වුණාම නොමිලේ බෙහෙත් කරන්න ඉස්පිරිතාල තියෙනවා. ඇයි සත්තු අසනීප වුණාම බෙහෙත් කරන්න මොකක් හරි ක්‍රමවේදයක් හදන්න කියලා ආණ්ඩුවට බලපෑමක් කරන්න බැරි.

ලංකාවේ හැම තැනම වෙට් ක්ලිනික් තියෙනවා. හැබැයි ඒවයින් සාමාන්‍ය ගෙදරක ඇති කරන බල්ලෙක්ට බෙහෙත් ගන්න බැහැ. ඒවායේ ගාස්තු සාමාන්‍ය මිනිහෙක්ට දරා ගන්න බැහැ. අඩුම තරමේ නගර සභා මට්ටමෙන් හරි සාධාරණ ගාස්තුවක් අය කරලා වෙට් ක්ලිනික් එකක් හදන්න කියලා බලු සංගම්වල නෝනලා මහත්තුරු ඉල්ලීමක් කරනවා වත් මම දැකලා නැහැ.

ඉයන් මැරුණාම අපේ අක්කා ෆේස්බුක් පෝස්ට් එකක් දාලා තියෙනවා මම දැක්කා. එයා ඒකේ “පුතේ ඔයා ලබන ආත්මේ මිනිස් ආත්මයක ඉපදෙන්න ඕනේ” කියලා තිබ්බා.

මනුෂ්‍ය ආත්මයක් ලබලා, බල්ලෙක්ට වඩා අන්ත තක්කඩි ජීවිත ගත කරන මිනිස්සු මම දැකලා තියෙනවා.

ඒත් බල්ලෙක් විදිහට ඉපැදිලා, බල්ලෙක් විදිහට ජීවත් වෙලා, මනුස්සයෙක්ටත් වැඩියෙන් ආදරය ලබලා මැරිලා ගියපු ඉයන්, ලබන ආත්මේ මනුස්සයෙක් වෙලා ඉපදෙයිද? නැද්ද? කියන්න මම දන්නේ නැහැ.

ඒත් ලබන ආත්මය කියලා දෙයක් තියෙනවා නම්, බල්ලෙක්ට මනුස්ස ආත්මයක් ලබන්න පුළුවන් නම්, ඉයන්ට මනුශ්‍ය ආත්මයක් ලැබෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා.

ඒ මොකද දන්නවද? මම බල්ලන්ට ආදරය නොකළට, අපේ අක්කා ඔය සතාට කොච්චර ආදරය කළාද කියලා මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙන නිසා.

උපුටා ගැනීම – මුහුණු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article