spot_img
spot_img
Tuesday, July 7, 2026
spot_img
spot_img

ජාතික අනතුරු නිවාරණ සතිය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

Must read

රී ලංකාවේ රෝහල්ගතවීම් සඳහා ප්‍රධානතම හේතුවක් ලෙසත්, වළක්වාගත හැකි මරණ හා ආබාධිත තත්ත්වයන්ට බලපාන ප්‍රධාන සාධකයක් ලෙසත් හඳුනාගෙන ඇති හදිසි අනතුරු අවම කිරීම සඳහා වූ ජාතික ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කරමින්, එකොළොස්වන ජාතික අනතුරු නිවාරණ සතිය ආරම්භ කිරීමේ ප්‍රධාන උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකය සහ ජාතික අනතුරු වැළැක්වීම පිළිබඳ උපදේශක කමිටුව (NCPI) එක්ව මෙහෙයවීමෙන් මෙම ජාතික වැඩසටහන 2026 ජූලි 06 සිට 10 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන අතර, අනතුරු පිළිබඳ ජනතා දැනුවත්භාවය වර්ධනය කිරීම, වළක්වාගත හැකි අනතුරු සහ මරණ අවම කිරීම මෙන්ම ආරක්ෂිත සමාජ පරිසරයක් ගොඩනැගීම මෙහි ප්‍රමුඛ අරමුණු වේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අදහස් දක්වමින් මෙය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන බව පැවසීය. 2016 වසරේ ආරම්භ කරන ලද ජාතික අනතුරු නිවාරණ වැඩසටහන මෙවර එකොළොස්වන වරටත් ක්‍රියාත්මක වන බවත්, ජනතාවගේ ජීවිත සහ අනාගත ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ උදාර අරමුණ පෙරදැරි කරගෙන ක්‍රියාත්මකවන බවද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා වර්තමානයේ ශ්‍රී ලංකාවේ රෝහල්ගතවීම් සඳහා ප්‍රධානතම හේතුවක් ලෙස හදිසි අනතුරු පෙන්වා දිය හැකි බව පැවසීය. වසරකට මිලියන 1.3 කට අධික පිරිසක් අනතුරු හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, තවත් මිලියන 3කට ආසන්න පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා  ඒ අනුව, රටේ සෑම පුද්ගලයන් හතකට එක් අයෙකු පමණ වාර්ෂිකව වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන ආකාරයේ අනතුරකට ලක්වීමේ අවදානමකට මුහුණ දෙන බවද අවධාරණය කර සිටියේය.

එමෙන්ම, සෑම විනාඩියකටම රටේ පුරවැසියන් 6 සිට 8 දක්වා පිරිසක් අනතුරු හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන බවත්, මෙම තත්ත්වය බරපතල මහජන සෞඛ්‍ය ගැටළුවක් ලෙස සැලකිය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම අනතුරුවලට  වැඩි වශයෙන් ගොදුරු වන්නේ වයස අවුරුදු 15 ත් 44 ත් අතර ඵලදායී වයස් කාණ්ඩය බවත්, එම වයස් කාණ්ඩයේ මරණ සඳහා ප්‍රධානතම හේතුවක් ලෙසද අනතුරු පෙන්වා දිය හැකි බවත්, සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට 8ක් පමණ අනතුරු හේතුවෙන් සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය.

රථවාහන අනතුරු, සර්ප දෂ්ට කිරීම්, සතුන් සපාකෑම්, විෂවීම්, පිළිස්සීම්, විදුලිසැර වැදීම්, පුද්ගල පහරදීම් මෙන්ම කැපීම් හා කෙටීම් ආදී විවිධ හේතු මෙම අනතුරු සඳහා බලපාන බවද අවධාරණය කළ අමාත්‍යවරයා මාර්ග පද්ධතියේ සංවර්ධනය සමග සමානුපාතිකව මාර්ග අනතුරු සංඛ්‍යාවද ඉහළ යාමක් පෙන්වන බවද සදහන්කර සිටියේය.

මෙරට තරුණ, නව යොවුන් සහ වැදගත්ම ශ්‍රම බලකායේ  ජීවිත ආරක්ෂා කර ගැනීමට සහ ආබාධ වලින් බේරා ගැනීමට ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාං‍ශ මේවන විට අවධානය යොමුකර ඇති බව පැවසූ අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයත් ලබා ගෙන මේ සියලු පාර්ශවයන් ඒකාබද්ධ කරගත් අඛණ්ඩ වැඩසටහනක අවශතාවයද මෙහි දී අවධාරණය කළේය.

ඒ සදහා ප්‍රවේශයක් ලෙස  ජූලි 6 සිට 10 දක්වා කාලය තුළ ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, සියලු මාධ්‍ය ආයතන, අදාළ අමාත්‍යාංශ හා ආයතන සමග එක්ව පුළුල් දැනුවත් කිරීමේ සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා  සඳහන් කළේය. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතා අතර ඉහළම ස්ථානයක් ගත යුතු ක්ෂේත්‍රයක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මෙවර ජාතික අනතුරු නිවාරණ සතියේ දී ජූලි 06 සිට 10 දක්වා පිළිවෙළින් ජූලි 06 – මාර්ග අනතුරු වැළැක්වීම, ජූලි 07- සේවා ස්ථානවල අනතුරු වැළැක්වීම, ජූලි 08 – නිවෙස් හා වැඩිහිටි නිවාසවල අනතුරු වැළැක්වීම, ජූලි 09 දියේ ගිලීම් වැළැක්වීම සහ ජූලි  10 – පාසල්පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල අනතුරු වැළැක්වීම යන තේමා යටතේ දිවයින පුරා දැනුවත් කිරීමේ සහ ක්ෂේත්‍රමය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, එම අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකයේ අනතුරු නිරාරණ සහ කළමණාකරන අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග යන මහත්ම මහත්මීන් මෙන්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක්ද එක්ව සිටියහ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article