විල්පත්තු ජාතික උද්‍යානයේ වනාන්තර විනාශ කරමින් ආගමික උත්සවයකට ප්‍රවේශය ලබා දීමට පරිසරවේදීන්ගෙන් විරෝධය !
පල්ලෙකන්ඩල් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගීවීම සඳහා තහනම් කර ඇති මාර්ගයක් භාවිතා කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ඉල්ලා මොල්ලිකුලම වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයට යාබදව පසුගිය 06 වනදා පිරිසක් විරෝධතාවයක නිරතව තිබේ. මෙම විරෝධයට හේතුවී ඇත්තේ විල්පත්තු ජාතික උද්‍යානය හරහා මොල්ලිකුලම දෙසින් ඇති මාර්ගය මෙම දේවස්තානයට යාමට භාවිතා කිරීම තහනම් කර තිබීමයි. මෙම මාර්ගය භාවිතා කිරීම විල්පත්තු වනාන්තරයට හානිකර විය හැකි බැවින් ගන්නා ලද ක්රියාමාර්ගයකි. මේම මාර්ගය භාවිතා කිරිම තහනම් කළ ශේෂඨාධිකරනයේ නඩු තීන්දුවක් ද පවතියි. මෙම ප්රශ්නය සම්බන්ධයෙන් පරිසරවේදින්ගේ අවධානය යොමුවී ඇති අතර මේ සම්බන්ධයෙන් පළවී ඇති සටහනක් පහත පළකර ඇත.

උපුටා ගැනීම පරිසර ත්රස්තවාදියා මුහුනු පොතිනි
FC/SC/224/2010 අංක දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මගින් ද තහනම් කර ඇති විල්පත්තුව ජාතික උද්‍යානය හරහා මොල්ලිකුලම දෙසින් ඇති මාර්ගයේ, පල්ලෙකන්ඩල් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගීවීම සඳහා පැමිණීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා මොල්ලිකුලම වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයට යාබදව අද දින (06) පිරිසක් උද්ඝෝෂණයක නිරතවී ඇතැයි වාර්තා වේ.
පරිසරවේදීන් පවසන්නේ මෙම මාර්ගය මේ වන විට නැවත සංතතිය වෙමින් පවතින අතර දිත්වා සුළි කුණාටුව හේතුවෙන්ද පාලම්-බෝක්කු අබලන්වී භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි. මෙම මාර්ගය නැවත පිළිසකර කිරීම නීති විරෝධී වනාන්තර විනාශයකට අත වනන අතර, වාර්ෂික මංගල්‍යය සම්බන්ධයෙන් පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා සමග, පූජ්‍ය පක්ෂය ඇතුලු ඇල්මැති පාර්ශව පසුගිය 2026. 06. 17 දින පැවැත්වූ සාකච්ඡාවේදී ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මීට දැඩිව විරුද්ධවී ඇති බවද පවසයි.
එබැවින් ඊනියා උද්ඝෝෂණ සහ පුහු තර්ක හමුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගේ ස්ථාවරය හකුලා නොගනු ඇතැයිද, පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ඡන්ද කෑදරකමින් දේශපාලන අතපෙවීම් නොකරනු ඇතැයිද පරිසරවේදීන් අපේක්ෂා කරයි.







