Friday, May 3, 2024

කබලෑ දෙවියන් ඉස්සරහ කලබල කළ අයට උසාවිය ඇප දෙයි.

Must read

angry-manකබලෑ දෙවියන්ට පඩුරු දමා ආපසු යාමට සැරසුණු පුද්ගලයෙකුට අසල සිටි යාචකයෙකුගේ සැරයටියක් උදුරාගෙන පහර දුන් බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි අයෙකු රුපියල් පනස්දහස බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට නියම කළ කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා පහරකෑමට ලක් වූ පුද්ගලයාට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම පිණිස රුපියල් විසිපන්දහසක මුදලක් ගෙවන ලෙසටද වැඩිදුරටත් නියම කළේය.

මෙලෙස ඇප මත මුදාහැරුණේ කුලියාපිටිය, කුඹල්වල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විත්තිකරු සහ පහරකෑමට ලක් වූ පුද්ගලයාගේ පියා අතර මීට පෙර අවස්ථාවක ඇතිකරගත් ගැටුමක් හේතුවෙන් මෙම පහරදීම සිදු වී ඇති බවත්, මෙම පහරදීම හේතුවෙන් පැමිණිලිකරු සතුව තිබූ රුපියල් තිස් දහසක් වටිනා ජංගම දුරකථනයකට අලාභහානි සිදු වී ඇති බවත්, එම වටිනාකමම ඇති රන් මාලයක්ද අස්ථානගත වී ඇතැයි කුලියාපිටිය පොලිසිය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ පොලිස් සැරයන් පෙරේරා (19520 ) මහතා අධිකරණය හමුවේ පැවසීය.

දුරකථන හා රන් මාල පිළිබදව තම සේවා දායකයා කිසිවක් නොදන්නා බවත්, පැමිණිලිකරු විසින් තම සේවා දායකයාට කළ තර්ජනයක් නිසා මෙම පහරදීම වූ බවත් එය මෙතරම් බරපතල වේ යැයි තම සේවා දායකයා නොසිතා ඇති බවද කී නීතිඥ චන්දන යාපා මහතා සැකකරුට ඇප ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

(ඉහත දැක්වෙන ඡායාරූපය මෙම සිදුවීමට කිසිසේත්ම අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල ඡායාරූපයක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article