Sunday, May 5, 2024

යකඩ පොලු පෙන්වා මෝටර් රථයක් පැහැරගත් ලාබාල තරුණයින් හතක් දැලේ.

Must read

car_robbery_ thorayaya

කුරුණෑගල, තෝරයාය ප‍්‍රදේශයේදී යකඩ පොලු පෙන්වා මෝටර් රථයක් පැහැරගත් බව කියන ලාබාල තරුණයින් හත් දෙනෙකු සහ ඔවුන් විසින් පැහැරගත් මෝටර් රථයක්ද කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් විසින් පෙරේදා (22 දා ) අත්ඩංගුවට ගත්හ.

මෙලෙස පැහැරගැනීමට ලක්ව තිබුණේ කුරුණෑගල, උතුරුවැව පාරේ පදිංචි ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් ලක්ෂ 24 ක් පමණ වටිනා මෝටර් රථයකි. අදාල ව්‍යාපාරිකයා පසුගිය 21 වැනිදා රාත‍්‍රියේ ඉබ්බාගමුවේ පිහිටි ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයක් වෙත යමින් සිට ඇති අතර, රාත‍්‍රි 9.30 ට පමණ තේ පානය කිරීම සදහා තෝරයායේ පිහිටි හෝටලයක් අසල මෝටර් රථය නවතා තිබේ. ව්‍යාපාරිකයා වාහනයෙන් බිමට බසිනවාත් සමගම එම ස්ථානයේ නවතා තිබූ වෑන් රථයකින් බැසගත් හත් දෙනෙකුගෙන් යුත් මෙම තරුණ පිරිස, යකඩ පොලු පෙන්වමින් ව්‍යාපාරිකයා බියගන්වා ඔහු අත තිබූ මෝටර් රථයේ යතුර උදුරාගෙන ඇති බව පොලිසිය කියයි. ඉන් අනතුරුව මෝටර් රථය පැහැරගත් පිරිස ඔවුන් පැමිණි වෑන් රථයේ නැගී කුරුණෑගල දෙසට පලාගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෝටර් රථයේ හිමිකරු විසින් කොල්ලකරුවන් පැමිණි වෑන් රථයේ ලියාපදිංචි අංකය ඒ අවස්ථාවේදීම පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා දැනුම් දී ඇති අතර ඒ හරහා අදාල කොල්ලකෑම පිළිබදව කුරුණෑගල පොලිසියට වාර්තා වී තිබේ. කුරුණෑගල පොලිසිය විසින් අවට පොලිස් ස්ථානයන් කඩිනමින් දැනුම්වත්කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස වෑන් රථයේ නැගී පලායමින් සිටි සැකකාර තරුණ පිරිස පොල්ගහවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුව පොල්ගහවෙල ප‍්‍රදේශයේ නිවසක සගවා තිබූ කොල්ල කෑ මෝටර් රථයද පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මෙම වාහන මංකොල්ලයට සම්බන්ධ සියලු සැකකරුවන් අවුරුදු 18 සහ 21 අතර වයස්වල පසුවන ලාබාල තරුණයින් බව පොලිසිය කියයි. සැකකරුවන් අතර සිටින වයස අවුරුදු 25 ක තරුණයෙකු විසින් මෙම මංකොල්ලය මෙහෙයවා ඇති බවත්, ඔහු වාහන අත්පත් කරගන්නෙකු (සීසර් ) ලෙසද කටයුතු කර ඇති බවත් පොලිසිය කියයි. පැහැරගන්නා අවස්ථාව වන විට අදාල මෝටර් රථය තුළ රුපියල් එක් ලක්ෂ පනස්දහසක මුදලක් සහ වාහන අමතර කොටස් තොගයක්ද තිබී ඇති අතර අමතර කොටස් තොගය එලෙසම තිබී ඇති නමුත් එහි තිබූ මුදල් අස්ථාන ගත වී ඇති බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළේය.

පොල්ගහවෙල පොලිස් ස්ථානයේ, පොලිස් සැරයන් ජයසිංහ (1905 ), දිසානායක (22132) , පොලිස් කොස්තාපල් උපුල් ( 16512) සහ පොලිස් සැරයන් රියදුරු ජයසිංහ (3204), යන නිලධාරිහු පලායමින් සිටි සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් අතර කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක උපාලි, පොලිස් සැරයන් අතුල (32223), අබේරත්න (8045),පොලිස් කොස්තාපල් උදයකුමාර (31858) සහ වන්නිනායක (79540) යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article