Sunday, May 19, 2024

ලබුත් තිත්ත අබුද්දස්ස මේ කාලේ – නිදන් හෙවූ ගෑණුත් කොටුවෙති රාළේ !

Must read

women-arrestedදඹදෙණිය රජමහා විහාරස්ථානය ආසන්නයේ පිහිටි ගල් තලාවක නිදන් හෑරූ බවට වරද පිළිගත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු පස් දෙනෙකුට එක් අයෙකුට රුපියල් හැත්තෑ පන්දහස බැගින් රුපියල් තුන්ලක්‍ෂ හැත්තෑ පන්දහසක දඩ මුදලක් ගෙවන ලෙසට නියම කළ කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා දඩ මුදලට අමතරව එක් අයෙකුට වසරක් බැගින් වූ අත්හිටවූ සිරදඩුවම්ද නියම කළේය.

මෙලෙස දඩ හා අත්හිටවූ සිර දඩුවම් නියම වූයේ දඹදෙණිය රජමහා විහාරස්ථානය ආසන්නයේ පදිංචි කාන්තාවකට, ඇගේ අනුදැනුම ඇතිව නිධන් හෑරීමට පොළොන්නරුව ප‍්‍රදේශයේ සිට පැමිණි බව කියන කට්ටඩියෙකුට, ඔහුගේ සහයට පැමිණි බව කියන තවත් කාන්තාවට සහ පුද්ගලයින් දෙදෙනෙකුටය.

විත්තිකරුවන් විසින් අදාළ දඩ මුදල නොගෙවන්නේ නම් එක් අයෙකුට මාස හය බැගින් වූ සිරදඩුවම්ද මහේස්ත‍්‍රාත්වරයා විසින් නියම කළේය.

පළමු විත්තිකාර කාන්තාව දැනට පදිංචි වී සිටින දඹදෙණි රජමහා විහාරයට අයත් ඉඩමක පිහිටි ගල්තලාවක් මෙම පිරිස බහිරව පූජාවක් පවත්වමින් සිටින බවට ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව එම ස්ථානය වැටලූ පොලිස් නිලධාරිහු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ගිරිඋල්ල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ප‍්‍රසාද් මදනායක, උප පොලිස් පරීක්‍ෂක පේ‍්‍රමසිරි සහ පොලිස් සැරයන් සරත් (50397) යන මහත්වරුන් පැමිණිල්ල මෙහෙය වූ අතර විත්තිකරුවන් වෙනුවෙන් චන්දන යාපා, ආසිරි ප‍්‍රනාන්දු හා උපුල් අලගියවන්න යන නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙනීසිටියහ.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති  ඉහත ඡායාරූපය මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article