Monday, May 6, 2024

වයඹ පරිසර අධිකාරියේ දූෂිතයින්ට එරෙහිව පරිසර සංවිධාන වීදි බසිති.

Must read

parisara_protest_3වයඹ පළාත් පරිසර අධිකාරියේ දූෂිත නිලධාරින් එම තනතුරුවලින් වහා ඉවත් කරන ලෙසට බලකරමින් වයඹ පළාතේ පරිසර සංවිධාන කිහිපයක නියෝජිතයින් අද (24 දා) කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක යෙදුණහ.

වයඹ පළාත් ඒකාබද්ධ පරිසර සංවිධාන එකමුතුව විසින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට ආනවිලුන්දාව පරිසර සුරැකීමේ සංවිධානය, දැදුරුඔය සුරැකීමේ සංවිධානය, බිංගිරිය පරිසර සුරැකීමේ සංවිධානය සහ මිහිකත පරිසර සංවිධානය ඇතුලු සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් සියයකට ආසන්න පිරිසක් එක් වී සිටියහ. මෙම පිරිස විරෝධතාවයේ යෙදෙන අවස්ථාව වන විට කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමද දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේදී පැවැත්වෙමින් තිබිණි.

‘‘ වයඹ පරිසර අධිකාරිය වනසා දැමූ දූෂිත නිලධාරින් පන්නා දමමු. ’’,‘‘ වයඹ පළාත් පරිසර ප‍්‍රඥප්තියෙන් ජනතාව මරු කටට’’,‘‘ පරිසරය වනසන නරුමයන්ට ශාපවේවා. ’’ආදි විරෝධතා වැකි ලියූ පුවරුද විරෝධතාකරුවන් විසින් මෙහිදී ප‍්‍රදර්ශණය කළහ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ ආනවිලුන්දාව පරිසර සුරැකීමේ සංවිධානයේ සම කැදවුම්කරු පූජ්‍ය විල්පොත පේමානන්ද හිමියෝ මෙසේ පැවසූහ.

‘‘ වයඹ පළාතට සිද්ධවෙමින් තියෙන පාරිසරික හානිය පිළිබදව බලධාරින්ගේ ඇස් අරවන්න තමයි අපි මේ උද්ඝෝෂණය සංවිධානය කළේ. ලෝක උරුමයක් විදිහට සැලකෙන ආනවිලුන්දාව රම්සා තෙත් බිම විනාශ කිරීමේ වැඩපිළිවෙලක් වයඹ පරිසර අධිකාරිය විසින් මේ වෙනකොට ක‍්‍රියාත්මක කරමින් තියෙනවා. වයඹ පරිසර අධිකාරියේ අනුමැතිය ඇතිව ඒ තෙත් බිම ආසන්නයේ සුවිශාල කර්මාන්තශාලා භූමියක් ඉදිවෙමින් පවතිනවා. ඒ වගේම පල්ලම, බිංගිරිය, මුන්දලම ආදී ප‍්‍රදේශ ගණනාවක පරිසරයට කිසිසේත් නොගැලපෙන, පරිසරය විනාශ කරන කර්මාන්ත විශාල ප‍්‍රමාණයක් පවත්වාගෙන යමින් තියෙනවා. ඒ සියලු කර්මාන්ත ආරම්භ කරන්න අනුමැතිය දීලා තියෙන්නේ වයඹ පරිසර අධිකාරියෙන්. මධ්‍යම පරිසර අධිකාරියටවත් නැති අමුතු බලයක් වයඹ පරිසර අධිකාරියට ලැබුණේ කොහොමද කියලයි අපි අහන්නේ ? 2016 අගෝස්තු මාසේ 31 වැනිදා ජනාධිපති මන්දිරයේ තිබුණු සාකච්ඡාවකදී ජනාධිපතිතුමා නියෝග කරනවා වයඹ පරිසර අධිකාරියේ අධ්‍යක්ෂවරයා වහාම එම තනතුරෙන් ඉවත්කරන්න කියලා. නමුත් අපි කණගාටුවෙනවා වයඹ ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුලු ඇතැම් දේශපාලනඥයින්ගේ රැකවරණය ලබන එම නිලධාරින්ට තවමත් ඒ තනතුරුවල ඉදගෙන වයඹ පරිසරය විනාශ කරලා දාන්න අවස්ථාව සලසා දී තිබීම ගැන. ’’

පැයකට ආසන්න කාලයක් කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයේ යෙදුණු පිරිස ඉන් අනතුරුව සාමකාමීව විසිරී ගියහ.parisara_protest_1 parisara_protest_2 parisara_protest_4 parisara_protest_5 parisara_protest_6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article