Sunday, May 5, 2024

වයඹ මගී ප‍්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරු ඇතුලු අටදෙනෙකුගේ වැඩ තහනම්.

Must read

root_permit_ case_update

වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය විසින් පුද්ගලික බස් රථ සදහා නිකුත් කරන මගී ප‍්‍රවාහන ධාවන බලපත‍්‍ර ( රූට් පර්මිට් ) හතරක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් එම අධිකාරියේ ධාවන කළමනාකාරවරයා ඇතුලු අටදෙනෙකුගේ සේවය අත්හිටුවීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගිය 28 වැනිදා තීරණය කර තිබේ.

වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ ගබඩාවෙන් එහි ධාවන අංශය වෙත නිකුත් කරනු ලැබූ බලපත‍්‍ර අංක 9413, 9414, 9458 සහ 9459 දරණ ධාවන බලපත‍්‍ර අස්ථාන ගත වී ඇති බවත්, ඒ පිළිබදව වයඹ පළාත් විගණන දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් වයඹ ටුඩේ වෙබ් අඩවිය විසින් 2017 ජූනි මස 30 වැනිදා වාර්තා කළේය. ඒ අනුව පසුගිය 28 වැනිදා රැස් වූ වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අදාල ධාවන බලපත‍්‍ර අස්ථානගතවීමේ සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමෙන් පසුව වහාම ක‍්‍රියාත්මක වන පරිදි එම සිදුවීමට සම්බන්ධ බව කියන සේවක සේවිකාවන් අට දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකාරවරයා, සහකාර ධාවන කළමනාකාරවරයා, විෂය ලිපිකාරිනියක් සිව්දෙනෙකු, විෂය ලිපිකරුවෙකු සහ කාර්යාල කාර්ය සහායකවරයෙකුගේ වැඩ තහනම් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගිය 28 වැනිදා ගනු ලැබූ වැඩ තහනම් කිරීමේ තීරණය මේ වන විට ක‍්‍රියාත්මක වන්නේදැයි වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති අයි. පී. ඩී. ගුණතිලක මහතාගෙන් වයඹ ටුඩේ ඊයේ (30 දා) කළ විමසීමකදී හෙතෙම පැවැසුවේ දැනට එම තීරණය ක‍්‍රියාත්මක නැති බවත්, අද දිනයේදී ඒ පිළිබදව අවසන් තීන්දුවක් ගන්නා බවත්ය.

වයඹ මාර්ගස්ථ අධිකාරිය සතු වටිනාම ලේඛණය ලෙස සැලකෙන මගී ප‍්‍රවාහන ධාවන බලපත‍්‍රය රජය සතු දේපලක් ලෙස සැලකෙයි. පුද්ගලික බස්රථවලින් මගීන් ප‍්‍රවාහනය කිරීම සදහා අවසර ලබාදෙමින් රජයෙන් නිකුත්කෙරෙන නිල ලේඛණය වන මගී ප‍්‍රවාහන ධාවන බලපත‍්‍රයක් නිකුත් කිරීම වෙනුවෙන් ඒ ඒ මාර්ගයන්වල වෙළද වටිනාකම අනුව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ තිහ අතර මිලක් වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියෙන් අයකෙරෙයි. එවැනි ඉහළ වටිනාකමක් සහිත මගී ප‍්‍රවාහන ධාවන බලපත‍්‍ර අස්ථානගතවීමක් වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියෙන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන බවද තතු දත් අය කියති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article