Friday, May 3, 2024

හදිසි ගින්නකින් කෝරුවාවේ මහින්දෝදය විද්‍යාගාරය විනාශයි.

Must read

පොල්පිතිගම, කෝරුවාව මහානාම විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයෙහි ඉහළ මහලේ ඇති වූ හදිසි ගින්නකින් එම මහලේ පිහිටි පරිගණක ඒකකය සම්පූර්ණයෙන්ම දැවී විනාශයට පත් විය.

පසුගිය සිකුරාදා (26 දා ) පස්වරු 6 ට ඇති වූ මෙම හදිසි ගින්න හේතුවෙන් එම පරිගණක විද්‍යාගාරය තුළ තිබූ නවීන පරිගණක 42 ක් සහ ඒවාට සම්බන්ධ කර තිබූ අනෙකුත් පරිගණක උපාංගයන්ද සම්පූර්ණයෙන්ම දැවී ගොස් තිබේ. ඊට අමතරව එම පරිගණක ඒකකය තුළ තිබු පරිගණක මේස, පුටු සහ චන්ද්‍රිකා රූපවාහිනි සබදතාවය සහිත රූපවාහිනි යන්ත‍්‍රයක් ඇතුඵ තවත් උපකරණ රැසක්ද ගින්නට හසුවීමෙන් විනාශ වී තිබේ. ගින්න හේතුවෙන් ගොඩනැගිල්ලේ සිවිලිමට සහ ජනේල කිහිපයකටද අලාභහානි සිදු වී තිබිණි.

ගින්න හටගන්නා අවස්ථාව වන විට කෝරුවාව මහානාම විද්‍යාලය තුළ සවස්වරු උපකාරක පන්තියක් පැවැත්වෙමින් තිබී ඇති අතර තාක්ෂණ විද්‍යාගාරයේ ඉහළ මහලින් දුමාරයක් නගිනු දුටු එම උපකාරක පන්තියේ සිසු සිසුවියන් සහ ගුරුවරයා විසින් උදව් ඉල්ලා කෑ ගසා තිබේ. එම කෑගැසීම ඇසී විද්‍යාලයට පැමිණි ප‍්‍රදේශවාසීන් විසින් වතුර ඉස ගින්න මැඩපවත්වනු ලැබීම නිසා සිදුවීමට ගිය මහා විනාශයක් වළක්වාගැනීමට හැකි වූ බව මහානාම විද්‍යාලයේ විදුහල්පති එච්. කේ. ජී. වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක සහ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ යන මහත්වරුන්ගේ අතින් මෙම මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත් කරනු ලැබ ඇත්තේ පසුගිය 12 වැනිදාය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවී ඇති අතර විදුලි කාන්දුවකින් ගින්න හටගන්නට ඇති බවට පොලිසිය සැකකරයි. ගින්නට හේතුව පිළිබද අනාවරණය කරගැනීම සදහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැදවීමට නියමිත බව පරීක්ෂණ මෙහෙයවන පොල්පිතිගම පොලිසිය කියයි. ගිනිගැනීමට ලක් වූ තාක්ෂණ විද්‍යාගාරයට සීල් තැබීමෙන් අනතුරුව මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

koruwwa04 koruwwa01 koruwwa05 koruwwa02 koruwwa06 koruwwa03 koruwwa05

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article