ඉකුත් පෙබරවාරි 5 වන දා සිට සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවක නිරත ව සිටි මාදැල් ධීවරයන් සහ අනුර කුමාර දිසානායක ජනාධිපති වරයා අතර සාකච්ඡාවක් ඉකුත් 13 වන දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ අධිකරණයේ අවසරය මත පුරා දින නවයක් එහි විරෝධතාවයේ නිරත ධීවරයන්ට ජනාධිපති කාර්යාලය වෙත ආරාධනා කළ ජනාධිපතිවරයා ඔවුන් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වී තිබේ. එහි දී මා දැල් ඇදීමට ශ්‍රමිකයන් නොමැති වීම හේතුවෙන් ට්‍රැක්ටර් වලට සවි කළ වින්ච් ක්‍රමවේදය භාවිත කරමින් ඉදිරියට පවත්වාගෙන ආ මාදැල් ධීවර කර්මාන්තය ආශ්‍රිතව මේ වනවිට මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ධීවරයින් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබුණි.
ධීවර නියෝජිතයන්ගේ අත්දැකීම් අනුව මතු කළ සියලු කරුණු වලට කන් දුන් ජනාධිපතිවරයා මාදැල් කර්මාන්තය සම්බන්ධයෙන් පැන නැඟී ඇති මෙම ගැටලුවට විසදුම් සෙවීමේදී ආර්ථික වශයෙන් කිසිවෙකුගේ ජීවන තත්ත්වයන් අඩාල කිරීමට රජයට අවශ්‍යතාවක් නොමැති බවත් රජය පෙනී සිටින්නේ සියලු දෙනාගේ ආර්ථික සුබසිද්ධිය වෙනුවෙන් බවත් අවධාරණය කර තිබේ.එසේම මෙම ගැටලුවට විසඳුම් සෙවීමේදී පොදු ධීවර ජනතාවගෙන් ලැබෙන පැමිණිලි පරිසර සංවිධාන මෙන්ම මේ සම්බන්ධව විද්‍යාත්මක පර්යේෂණයන්හි නිරත වන රාජ්‍ය ආයතන ධීවර අමාත්‍යාංශයට අයත් ආයතන සහ අනෙකුත් ආයතන මගින් ලබාදී ඇති වාර්තා ද සැලකිල්ලට ගතයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.ඒ අනුව ධීවර ජනතාවගේ ආර්ථිකයට හානියක් නොවන ලෙසත්, පරිසර සුරක්ෂිතභාවය තහවුරු වන ලෙසත්, අන්තර්ජාතික සම්මූතීන්ට අනුකූලව මතු පරම්පරාව වෙනුවෙන් ද ධීවර කර්මාන්තය සහ සාගර සම්පත් ආරක්ෂාවන ලෙසත්, තහනම් පන්න ක්‍රම භාවිතයට පැමිණීම වැළැක්වෙන අයුරින් කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලදී.එහිදී එය කිසිසේතම තහනම් පන්න ක්‍රමයක් නොවන බව ධීවරයන් විසින් අවධාරණය කොට අතර අදාල සියලු පාර්ශ්වයන් එක්ව කෙටි කාලයක් තුළ සාකච්ඡා මාර්ගයෙන් වඩාත් සුදුසුම විසඳුම් යෝජනා කරගැනීමට ද එකඟතාව පළ කළ ඔව්හු විරෝධතාව නතර කිරීමට ද තීරණය කළහ.අදාළ සාකච්ඡා සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කිරීමට ද මෙහිදී තීරණය වී තිබේ.
සාමාන්‍ය ජීවනෝපායක සිට පුළුල් කර්මාන්තයක් දක්වා පැතිර පවත්නා ධීවර වෘත්තිය මත පදනම් වන ප්‍රබල සංස්කෘතිකාංග ද අප රටේ ද තිබේ.කිසිවකු ගේ විරෝධයක් එල්ල නොවන අන්දමින් කිව හැකි අන්දමට ශ්‍රී ලංකාවේ වයඹ හා බටහිර මුහුදු තීරය දිගේ වෙසෙන කතෝලික ප්‍රජාව එම සංස්කෘතියේ මුල් පෙළේ හිමි කරුවෝ වෙති.ඔවුනට සිය ධීවර සංස්කෘතිය හුදු ජීවනෝපායක් පමණක් නොවේ. එය ආගමික භක්තිය, ඓතිහාසික සම්ප්‍රදාය සහ ප්‍රජා සබඳතා මත ගොඩනැගුණු අද්විතීය සමාජීය හර පද්ධතියකි. විශේෂයෙන්ම බටහිර සහ වයඹදිග වෙරළ තීරයේ වෙසෙන කතෝලික ධීවර ජනතාවගේ ජීවිතය දේවස්ථානය සහ මුහුද සමඟ නොවෙනස්ව බැඳී පැවතීම මත මෙරට ධීවර සංස්කෘතියේ ප්‍රබලතම හිමි කම කතෝලික ධීවරයන් වෙත ප්‍රදානය කිරීමේ අයුක්තියක් අසාධාරණයක් අපට නම් නොපෙනේ.
කතෝලික ධීවර ජනතාව තම වෘත්තිය දකින්නේ දේව කැමැත්තට අනුව සිදු කරන්නක් ලෙසිනි.ඊට ප්‍රධානතම හේතුව ශුද්ධ වූ බයිබලයේ සඳහන් කරුණු ඒ සඳහා පාදක වීම ය. ශුද්ධ වූ බයිබලයේ සඳහන් අන්දමට ජේසුස් වහන්සේ තම ප්‍රථම අනුගාමිකයන් ලෙස තෝරාගනු ලැබුවේ ද පේදුරු, ඇන්ඩෘ, යාකොබ් සහ යොහන් යන ධීවරයන් ය. “මා පසුපස එන්න, මම ඔබ මනුෂ්‍යයන් අල්ලන්නන් කරන්නෙමි” (ශු මතෙව් 4:19 )යන දේව ප්‍රකාශය ධීවරයාට අධ්‍යාත්මික වටිනාකමක් ලබා දෙන්නකි.ධීවර වෘත්තිකයන් හට මෙබඳු අගයක් ලබා දෙන අවස්ථාවක් අන් කිසිදු ආගමික මූල ග්‍රන්ථයක සඳහන් ව නැත.ගලීල මුහුදේ ඇති වූ කුණාටු සංසිඳවීම සහ දැල් පිරී යන තෙක් මසුන් අල්ලා ගැනීමට මඟ පෙන්වීම වැනි ශුද්ධ වූ බයිබලයේ සඳහන් පුවත් ධීවර ජනතාවගේ විශ්වාසය දැඩි කොට තිබේ.ශු මතෙව් මාක් ලූක් ශ යොහාන් යන සුභාරංචි හතරේම සඳහන් එකම ප්‍රතිහාර්ය වන ජේසුස් වහන්සේ විසින් පන් දහසකට ආහාර දීමේදී රොටි මෙන්ම මසුන් ද යොදා ගැනීම මඟින් ධීවර සම්පත දිව්‍යමය ආශිර්වාදයක් ලෙස ඔවුහු සලකති.රොටී යනු කෘෂි අස්වැන්නෙන් තැනෙන ආහාරයක් වන අතර මසුන් යනු සමුද්‍රීය අස්වැන්න ය.ඉහත සඳහන් ධීවර ගැටලුව මා දැල් එලීම සම්බන්ධ වූවකි. බයිබලයේ ද දැල් භාවිතා කර මසුන් ඇල්ලීම සම්බන්ධ පුවත් කිහිපයක්ම හමුවන අතර, ඒවා බොහොමයක් ගැඹුරු ආධ්‍යාත්මික අර්ථයන්ගෙන් යුක්ත ය.ඉහත සඳනන් බයිබල් මූලාශ්‍ර වලට අමතරව ආශ්චර්යමත් මත්ස්‍ය අස්වැන්න ( ශු ලූක් 5:4-6) සම්බන්ධ පුවත ද චිර ප්‍රසිද්ධ වන අතර එහි දී “දැල් එලීම” යන්නෙන් අදහස් වන්නේ තමන්ගේ උත්සාහයට වඩා දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි විශ්වාසය තැබීමයි.ජේසුස් වහන්සේ ලෝකාවසානය සහ දෙවියන් වහන්සේගේ විනිශ්චය පැහැදිලි කිරීම පිණිස දැලක් උපමා කර ගෙන තිබේ.”නැවතත් ස්වර්ග රාජ්‍යය, මුහුදේ හෙළන ලද, සෑම වර්ගයකම මසුන් අසු කරගන්නා වූ දැලකට සමාන ය. එය පිරුණු කල, මසුන් අල්ලන්නෝ එය වෙරළට ඇද, වාඩි වී, හොඳ මසුන් භාජනවලට එකතු කර ගනිති; නරක මසුන් අහක දමති.” (ශු මතෙව් 13:47)යනුවෙන් ධීවර කර්මාන්තය ස්වර්ගීය උපමාවකට සම කිරීම මත එය කිතුණු ජීවිත හා කොතෙක් බද්ධ වී තිබේදැයි අපට සිතා ගත හැකි ය.
ලොව පුරා කතෝලිකයන් ගේ ධීවරයන් ගේ කැප කාර මුනින්ද්‍රයා ලෙස චිර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ශාන්ත පේදුරු තුමන් ය.ජේසුස් වවන්ගේගේ අනුගාමිකයකු වීමට පෙර එතුමා ගලීල මුහුදේ දක්ෂ ධීවර කාර්මිකයෙකි.එක් රැයකින් දැල පිරී යන තෙක් මසුන් හසුවීම ප්‍රතිහාර්ය (ශු ලූක් 5:11) ආදී කරුණු මත එතුමන් සම්බන්ධ මෙම විශ්වාසය ලොව පුරා ධීවරයන් තුළ පවතී.මේ වන විට ධීවර වෘත්තියේ යෙදෙන වැඩිම පිරිසක් කතෝලිකයන් වීමට ද ඉහත ආගමික පසුබිම බලපා ඇති බව පෙනෙයි. නමුත් ශ්‍රී ලංකාව ඇතුළු රවවල් කිහිපයක ධීවර ජනතාව අතර වඩාත්ම ජනප්‍රිය මුනින්ද්‍රයා වන්නේ පාදුවා හි ශාන්ත අන්තෝනි මුනිඳුන් ය. ධීවර වෘත්තිය හා කිසිදු සබඳියාවක් නොමැති මුත් නැති වූ දේ සොයා දෙන සාන්තුවරයා ලෙස හා දිළින්ඳන් ගේ සාන්තු වරයා ලෙස ප්‍රකට එතුමන් කෙරෙහි ධීවරයන් තුළ ඇත්තේ අචල විශ්වාසයක් හා භක්තියකි.ධීවරයන් මුහුදු යාමට පෙර වෙරළේ ඇති ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ප්‍රතිමාවට හෝ කුඩා දේව රූපයට ඉටිපන්දමක් දල්වා යාඥා කිරීම සාමාන්‍ය සිරිතකි.රළු මුහුදේදී සහ අනතුරු වලදී පිහිට පතා ධීවරයෝ අන්තෝනි මුනිඳුන් යදිති. බොහෝ ධීවර යාත්‍රා වල එතුමන්ගේ රූපය සිතුවම් කර තිබීම මෙයට සාක්ෂියකි.වසරකට වරක් පැවැත්වෙන කච්චතීවු ශාන්ත අන්තෝනි මංගල්‍යය ශ්‍රී ලාංකේය හා දකුණු ඉන්දීය ධීවරයන් එකට හමුවන ප්‍රධාන සංස්කෘතික මධ්‍යස්ථානයකි.
ධීවර කර්මාන්තය සහ කතෝලික දේවස්ථාන අතර පවතින ඓතිහාසික සබඳතාවයේ ප්‍රබලතම සාක්ෂිය වන්නේ ඇතැම් ප්‍රදේශවල අදටත් මා දැල් අයිතිය දේවස්ථානය සතු වීමයි. මෙය පෘතුගීසි සමයේ සිට පැවත එන සම්ප්‍රදායකි.මීගමුව, හලාවත සහ කල්පිටිය වැනි ප්‍රදේශවල පල්ලියේ මා දැල නමින් හඳුන්වන දැල් පන්න පවතී. මෙම දැල් පන්න මඟින් ලැබෙන ආදායම දේවස්ථානයේ නඩත්තුවට, උත්සව වලට සේම ගමේ දුප්පත් ජනතාවගේ සුබසාධනයට යොදා ගනී.කානික්කම් පෙට්ටිය” යනු කතෝලික දේවස්ථානවල බැතිමතුන් තම ස්වේච්ඡා සම්මාදම් හෝ පඬුරු තැන්පත් කිරීම සඳහා භාවිතා කරන පෙට්ටියයි.ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව සහ වෙරළබඩ දේවස්ථාන ආශ්‍රිතව මෙම “කානික්කම් පෙට්ටිය” හා සම්බන්ධ ඉතා සුවිශේෂ සම්ප්‍රදායන් පවතී.ධීවර ජනතාව මුහුදු ගොස් ලැබෙන අස්වැන්නෙන් සාමාන්‍යයෙන් 1/10ක් හෝ නියමිත පංගුවක් දේවස්ථාන නඩත්තුව සහ දුප්පතුන්ට උපකාර කිරීම සඳහා කානික්කම් පෙට්ටියට පූජා කිරීමේ චාරිත්‍රයක් පවතී. මෙය ඔවුන් කරන්නේ තමන්ගේ රැකියාවට ලැබුණු ආශීර්වාදයට කෘතඥතාව පළ කිරීමක් වශයෙනි.
මුහුදේ දී දුකක් කරදරයක් වූ විට හෝ ගොඩබිම දී පවුලේ අයෙකු අසනීප වූ විට, “මෙම කාර්යය සාර්ථක වුවහොත් කානික්කම් පෙට්ටියට මෙපමණ මුදලක් පූජා කරමි” යනුවෙන් ධීවරයන් භාරහාර වීම සාමාන්‍ය සිරිතකි.විශේෂයෙන්ම ශාන්ත අන්තෝනි මුනිඳුන් සඳහා කැප කළ වෙන් කර ඇති කානික්කම් පෙට්ටිවලට ලැබෙන මුදල් හඳුන්වන්නේ “අන්තෝනි මුනිඳුන්ගේ දුප්පතුන්ගේ රොටි” යනුවෙනි.මෙම සම්ප්‍රදාය ආරම්භ වූයේ අතීතයේදී මවක් තම දරුවා බේරා ගැනීම වෙනුවෙන් දරුවාගේ බරට සමාන රොටි ප්‍රමාණයක් දුප්පතුන්ට දීමට ශාන්ත අන්තෝනි මුනිඳුන් හට භාර වීමෙන් හා ඇගේ පැතුම සඵල වූ පසු එම භාරය ඔප්පු කිරීම නිසා ය .අදටත් ධීවරයන් තම දෛනික ආදායමෙන් කොටසක් මෙම කානික්කම් පෙට්ටියට දමන්නේ එම මුදල් අසරණයන් උදෙසා යොදවන බවට ඇති විශ්වාසය මතයි.
අද පවා වෙරළබඩ පිහිටි බොහෝ කතෝලික දේවස්ථාන ඉදි කර ඇත්තේත්, අදටත් නඩත්තු වන්නේත් ධීවරයන් විසින් දෛනිකව හෝ සතිපතා කානික්කම් පෙට්ටියට දමන මෙම සුළු මුදල් එකතු වීමෙනි.
ඒ අතරේ වෙරළේ මා දැල් හෙලීම සඳහා ක්‍රමානුකූල කාලසටහනක් දේවස්ථානයේ මැදිහත් වීමෙන් සකස් කෙරේ. මෙයින් මීට ආධ්‍යාත්මික සබඳතාවක් ද ආරෝපණය වීම මත ධීවරයන් අතර ගැටුම් වළක්වා සාධාරණව සම්පත් බෙදා ගැනීම සිදු වේ. මා දැලක් ඇදීමේදී මුළු ගමම එකතු වන අතර, එය හුදු රැකියාවකට වඩා සමාජයීය උත්සවයක ස්වරූපය දරයි.එමෙන්ම එහි කිසියම් විනෝදාත්මක බවක් ද ගැබ් ව තිබේ. නව යාත්‍රාවක් දියත් කිරීමට පෙර මෙන්ම, වසරේ ප්‍රධාන මංගල්‍යයන් වලදී පියතුමන් ලවා ධීවර යාත්‍රා වලට පැන් ඉස ආශිර්වාද කිරීමද ධීවර ජනාවාස ආශ්‍රිත අනිවාර්ය අංගයකි.වෙරළබඩ කතෝලික දේවස්ථානවල වාර්ෂික මංගල්‍යයන් ධීවර ජනතාවගේ විශාලතම සංස්කෘතික උළෙලයි. එමෙන්ම ප්‍රතිමා සහිත පෙරහැර මුහුදු වෙරළ දිගේ ගමන් කරමින් මුහුදට ආශිර්වාද කරන අතර සාන්තුවරයාගේ ප්‍රතිමාව අලංකාර කරන ලද බෝට්ටුවක තැන්පත් කර තවත් බෝට්ටු විශාල සංඛ්‍යාවක් එම මුහුදු සීමාව දිගේ වැඩම කරන මුහුදු පෙරහැර නම් ජන සංස්කෘතිකාංගය මීගමුව,කටුකුරුන්ද,හලාවත,ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශ වල දක්නට ලැබෙන කතෝලික ධීවර ජනකාන්ත අංගයකි. මෙය හුදෙක් කතොලික ජන සංස්කෘතිකාංගයක් වීම ද විශේෂත්වයකි. නමුදු මේ වන විට එම ප්‍රදේශවල මීසම් භාරව පැමිණෙන තරුණ පියතුමන්ලා පවා මෙවන් අගනා ප්‍රාදේශීය සම්ප්‍රදායන් හා බද්ධ වූ කතෝලික ජන සංස්කෘතිකාංග ප්‍රවර්ධනය කරනු වෙනුවට අන්තර් ජාලය ඔස්සේ ලොව වටා සැරිසැරීමට දක්වන ලැදියාවත් බටහිර සංස්කෘතික නැඹුරුවත් මත මෙම වටිනා සම්ප්‍රදායන් ප්‍රවර්ධනය වීම සීමා වන බවක් පෙනේ.
එමෙන්ම ඉහත සඳහන් කළ ට්‍රැක්ටර් වලට සම්බන්ධ කළ වින්ච් මඟින් මා දැල් ගොඩ ඇදීම මා දැලක් ගොඩ ඇදීමට අවශ්‍ය පනහකට ආසන්න ශ්‍රමික පිරිසක් සොයා ගත නොහැකි වීම සඳහා වන විකල්පයක් බව පොදු ධීවර මතයයි.ඒ අනුව එම මා දැල් ධීවරයන් පෙන්වා දෙනුයේ අතින් මා දැල් ඇදීම වෙනුවට වින්ච් යොදා මා දැල් ඇදීමෙන් සමුද්‍ර සම්පත් සහ සමුද්‍රීය පරිසරය විනාශ වන බවට පවතින ආණ්ඩුවේ ස්ථාවරයේ නිසි ප්‍රායෝගික පදනමන් නොමැති බවකි, එමෙන්ම හිටපු ධීවර අමාත්‍ය වරයකු වූ පෙස්ටස් පෙරේරා විසින් අංක 337/48 දරන 1985 පෙබරවාරි 25 වන දා නිකුත් කොට ඇති ගැසට් පත්‍රයේ සඳහන් 1984 මා දැල් නියෝග මත තමන් නිරතුරුවම මෙම කර්මාන්තයේ යෙදෙන බව පවසන ධීවර කාර්මිකයන් වැඩි දුරටත් කියා සිටිනුයේ වත්මන් ආණ්ඩුව නිසි විද්‍යාත්මක අධ්‍යයනයකින් තොරව මෙම තහනමට අවතීර්ණ වී මා දැල් ධීවරයන් කබලෙන් ලිපට ඇද දමා ඇති බවකි.ඒ අතරේ කතෝලික ජනතාවගේ ශුද්ධ හා පරම අයිතියක් සේම ශ්‍රී ලාංකේය කතෝලික ධීවරයන් ගේ සාම්ප්‍රදායික සංස්කෘතිකාංගයක් වන මා දැල් කර්මාන්තට සම්බන්ධයෙන් නිසි පරිදි කරුණු අධ්‍යයනය කොට ධීවරයන් හඬ නඟමින් ඉල්ලා සිටින යුක්තිය හා සාධාරණතවය වෙනුවෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ රද ගුරු හිමිපාණන් ප්‍රමුඛ සමස්ත කතෝලික සභාව මේ තාක් ප්‍රමාණවත් ලෙස ඉදිරිමත් නොවීම බොහෝ දෙනා තුළ බරපතල විස්මයක් කුතුහලයක් සේම සැකයක් ජතිත කරවීමට ද සමත්ව ඇති බව මේ වන විට ප්‍රබල සමාජ කතිකාවක් බවට පත් වී තිබේ.
රීටා ජෙනට් පෙරේරා/ vinivida.lk







