spot_img
Friday, March 6, 2026
spot_img

ඉන්ධන තොග ප්‍රමාණවත් , අනියත බියක් ඇති කරගන්න එපා — ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

Must read

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් කිසිදු අනියත බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි. අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඇතැම් කූඨ ජාවාරම්කරුවන් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කර ගැනීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට ඉන්ධන ලබා ගැනීමේ අපහසුතා ඇති වී ඇති බවත්, ඉතිහාසයේද එවැනි තත්ත්වයන් වාර්තා වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. එවැනි නීතිවිරෝධී ක්‍රියාවන් වැළැක්වීම සඳහා පොලීසිය මැදිහත් වී බූලිවලට තෙල් එකතු කර ගැනීම නවතා ඇති බවද ඔහු සඳහන් කළේය. බලපත්‍රයක් නොමැතිව නිවාසවල ඉන්ධන තොග රැස්කර තබාගැනීම නීතිවිරෝධී හා අතිශය අවධානම් ක්‍රියාවක් වන අතර ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා අවධාරණය කළේය. ඊයේ (01) දිනයේ ද එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු පැවසීය.

අද (02) දිනයේ ද සාමාන්‍ය පරිදිම ඉන්ධන බෙදාහැරීම සිදු කර ඇති අතර පෙරවරු 9.45 වන විට ඩීසල් ලීටර් 22 ලක්ෂ 53,349ක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර් 24 ලක්ෂ 04,000ක් බෙදාහැර ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කළේය. එසේම ඊයේ (01) දිනයේ පමණක් ඩීසල් ලීටර් 30 ලක්ෂ 81,349ක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර් 39 ලක්ෂ 20,400ක් බෙදාහැර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අඛණ්ඩව ඉන්ධන නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, ප්‍රමාණවත් ඉන්ධන සංචිත රට තුළ පවතින බැවින් අනිසි බියකින් ජනතාව කලබල වීම අවශ්‍ය නොවන බවත් ඔහු නැවතත් අවධාරණය කළේය. 

QR ක්‍රමවේදය යොදාගෙන ඉන්ධන සැපයුම සීමා කළ යුත්තේ රට තුළ ඉන්ධන හිඟයක් පවතින අවස්ථාවකදී පමණක් බවත්, මේ වන විට එවැනි අවශ්‍යතාවයක් නොමැති බවත්  ඒ මහතා පෙන්වා දුන්නේය. නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කරගැනීමට නොහැකි අවස්ථාවක් උදා වුවහොත්, ඕනෑම අවස්ථාවක QR ක්‍රමවේදය භාවිතයට ගන්න සූදානම් බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article