spot_img
spot_img
Tuesday, June 30, 2026
spot_img
spot_img

රටකජු නිෂ්පාදන ගොවි සංවිධාන වෙත ට්‍රැක්ටර් බෙදාදෙයි

Must read

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන (SAPP) “FREINDS” 4P අගයදාම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රටකජු නිෂ්පාදන ගොවි සංවිධාන වෙත ට්‍රැක්ටර් බෙදාදීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහ කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) දින ගොවිජන මන්දිරයේදී පැවැත්විණ.

මෙම ව්‍යාපෘතිය මේ වනවිට ගලේවල, නාඋල, මහියංගණය, රිදීමාලියද්ද, කොබෙයිගනේ යන ප්‍රදේශවල ක්‍රියාත්මක වේ. දේශීය රටකජු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගොවීන්ගේ නිෂ්පාදන කටයුතු වඩාත් පහසුවෙන් සිදු කරගැනීමට මෙම ට්‍රැක්ටර් උපකාරී වනු ඇත.

මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.

“අපේ ප්‍රධාන වගකීම ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමයි. ඊළඟ කාරණය තමයි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම. දැන් රටේ ආහාර හිඟයක් නැහැ. අපිට ඒ ගැන සතුටක් තියෙනවා. එල්නිනෝ තියා මොනවා ආවත් අපිට ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වෙන්නේ නැහැ. අපි රටකජු පිටරටින් ගේනවා. නමුත් අපේ රටේ රටකජු රහයි. ගුණයි. පිටරටින් ගේන ටික නවත්වගන්න පුළුවන් නම් හොඳයි. ඒ සඳහා මේ වැඩසටහනෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මේක අපේ ජාතික වැඩපිළිවෙල සමඟ අනන්‍යයි. මේ වැඩසටහනට දායක වුණු හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. ගොවි සංවිධාන අතේ තමයි මේකේ ඊළඟ ලොකුම කොටස තියෙන්නේ. මේවා ගන්නකොට තියෙන ගැම්ම ටික දවසක් යද්දි නැතිවෙලා යනවා. ඒ නිසා මේක අධීක්ෂණය කළ යුතුයි. පසුවිපරම වැදගත්. මේ ට්‍රැක්ටරය ලක්ෂ 63ක පමණ වටිනාකම තියෙන යන්ත්‍රයක්.

අපි ආනයන ආදේශන නිෂ්පාදන ඉදිරියට ගත යුතුයි. 99ක් හොඳ වැඩ වෙනකොට කොතන හරි වැරැද්දක් තමයි ලංකාවේ ප්‍රවෘත්ති කියන්නේ. රටේ ගොඩනඟන්න හදන්නේ ඔක්කොම සෘනාත්මක දේවල්. ඒ නිසා අපි මේක ධනාත්මකව ඉදිරියට ගෙනියමු.

ගොවීන් තමන් වෙනුවෙන් වගා කළා වුණාට ඒකෙන් ජාතික උවමනාවකුත් ඉෂ්ට වෙනවා. ඒ නිසා තමයි ගොවියෝ ජාතික සම්පතක් විදිහට සළකන්නේ. ඔබ වෙනුවෙන් මේ රටේ මිනිස්සු විශාල මුදලක් යොදවනවා. වාරිමාර්ගෙට. කෘෂි මාර්ගවලට. බෝක්කුවලට. පොහොර සහනාධාරයට. හැමදේටම මේ රටේ පොදු ජනතාව විශාල කැපකිරීමක් කරනවා. ඒ නිසා පාරිභෝගිකයා පැත්තෙනුත් ගොවියා නිතරම හිතන්න ඕනේ. වී මිල විතරක් නෙවෙයි. හාල් මිල ගැනත් කල්පනා කරන්න ඕනේ. සමහරු යෝජනා කරනවනේ වීවලට රුපියල් 150ක් දෙන්න ඕනේ කියලා. හැමෝම තමන්ගේ දේ වගේම පොදු යහපත ගැනත් හිතන්න ඕනේ.

මේ ව්‍යාපෘතිය හොඳ ආදර්ශවත් දෙයක්. මේවා පසුවිපරම් කරමින් ඉදිරියට අරගෙන යමු.”

මෙහිදී කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ද අදහස් පළ කළේය.

“අපි අමාත්‍යාංශය භාරගෙන මේ කෙටි කාලය තුළ විශාල වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වෙලා ඉන්නවා. අපේ අඩු භූමිය භාවිත කරලා වැඩි අස්වැන්නක් ලබාගත යුතුයි. පසුගිය වසරේ මුං ඇට ආනයනය නතර කරන්න අපිට පුළුවන් වුණා. එහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව තමයි ලොකුම දායකත්වය ලබා දුන්නේ. රටකජු සැලකිය යුතු ප්‍රමාණයක් අපි ආනයනය කරනවා. ඒ ගැන අවධානය යොමු කරලා තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.

අස්වනු වැඩි කරගන්නවා වගේම අපි වෙළඳපොළ ප්‍රශ්නයත් විසඳා ගත යුතුයි. අපි මේ වෙනකොට ඒ සඳහා පියවර ගනිමින් ඉන්නවා. අපි නිෂ්පාදනවලට අගය එකතු කළ යුතුයි. සුබදායී බලාපොරොත්තු සමඟ අපිත් එක්ක එකතු වෙන්න.”

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article