දේවස්ථාන වල අද ඇසෙන බොහෝ ගීතිකා හි නාදය ඇසෙන සෑම විටම, එහි පසුපස සිටින නිහඬ ශිල්පියා වන්නේ ජේ.කේ.එස්. පෙරේරා සංගීතවේදියා බව වර්තමාන පරපුර නම් නොදන්නවා විය හැක. කතෝලික ගීතිකා උරුමයේ අපට සදා අමතක නොවන ගීතිකා රැසක සොඳුරු නිර්මාතෘවරයෙකු ලෙස ඔහුව හැඳින්විය හැක. 1917 වර්ෂයේ නොවැම්බර් මස 07වනදා නයිනමඩම නම් ග්‍රාමයේ ජයසූරිය කුරණගේ සෙබස්තියන් පෙරේරා ලෙස ඉපිද හැදී වැඩි ,අධ්‍යාපනය ලබා සිය ගම්පළාත් මෙන්ම ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාවට අමතක නොවන සේවයක් කළ පුද්ගලයෙකු බවට ඔහුගේ නම ලාංකීය ඉතිහාසයේ ලියවී ඇත. එළඹෙන නොවැම්බර් 07 වනදාට ජේ.කේ.එස් ශුරීන්ගේ 109 වන ඡන්ම දිනය යෙදී ඇත.
පවුල් පසුබිමින්ම නාඩගම් සම්ප්රදායේ ඇසුර මෙන්ම,කතෝලික සංස්කෘතියේ ඇසුරට ද උරුමකම් කියූ ජේ.කේ.ඇස් පෙරේරා මහතා ඉතා අඩු වයසින්ම බටහිර සංගීතය හදාරමින් ,වයලීන් වාදනයට අති දක්ෂයෙකු විය. එමෙන්ම ඉතාම තුරුණු වියේදිම ගුවන් විදුලි වාදක මණ්ඩලයේ ද දක්ෂ වයලීන් වාදකයෙකු විය.
ලෝ ප්‍රකට බොරලැස්සේ පාස්කු නාට්‍යය දර්ශනයේද වාදක මණ්ඩලය මෙහෙයවු ප්‍රධාන වාදකයෙකු වෙමින් සිය සංගීත දිවිය ආරම්භ කරන ලදී. එමෙන්ම එකල දේවස්ථාන වල වාදනයට ඔහු නිතැතින්ම සහභාගී විය.1
කිතුණු ගීතිකා සාහිත්‍යට නවෝදයක්
මේ ආකාරයට සංගීත දිවිය ආරම්භ කළ ජේ.කේ.ඇස්.පෙරේරා මහතාගේ ප්රතිභාවේ ආලෝකය තීරනාත්මක ලෙස විදහාදැක්වෙන කාලය එලඹන්නේ 1962 දිය. ඒ ,වතිකානුව විසින් අරඹන ලද නව කතිකාවතට පනගන්වමින් කතෝලික සභාව විසින් ඇරඹු සිංහල ගීතිකා නවෝදය තුළිනි.
මුල් කාලවල ලතින් භාෂාවෙන් ගැයුන ගීතිකා වෙනුවට කතෝලික පල්ලිය තුළ හෙළ බසින් ,බටහිර සංගීතයට හෙල ආරක්ද එකතු කරමින් ගීතිකා තනු නිර්මාණය කිරීමට ජේ.කේ.එස්.පෙරේරා ශිල්පියාට අවස්ථාවක් උදාවිය. ඒ අනුව යමින් සිංහල කතෝලික ගීතිකා 200කට වැඩි ගණනකට ඔහු අතින් තනු නිර්මාණය විය. ඒ අනුව ඔබට පසස ගී ගීතිකා පොත් පෙළේ නිර්මාතෘ බවට ඔහු පත්විය.
එමෙන්ම ඔහු තනු නිර්මාණය කළ , ලේඛනගතත නොවුන ගීතිකා සහ නාද තිබෙන බවද ජේ.කේ.එස්.පෙරේරා සම්බන්ධයෙන් ලියැවුණ ලේඛන වල සඳහන් වේ.
මෙම සිංහල ගීතිකා නිර්මාණය කිරීමේ නවෝදයට සමකාලීනව පණදුන් තවත් පුද්ගලයෙකු වූයේ ගරු මෝසැසි පෙරේරා පියතුමායි. ඔහු විසින් රචිත ගීතිකා බෝහෝමයකට ජේ.කේ.එස්.පෙරේරාගේ තනු නිර්මාණය එක්විය. ගරු මෝසැසි පෙරේරා පියතුමා සහ ගරු පිලිප් ඇන්තනී පියතුමන්ලා විසින් 1969 දී ඔබට පසස ගී (11) පොත සදහා ගීතිකා පද රචනය කරමින් ගරු මෝසැසි පෙරේරා පියතුමා විසින් ජේ.කේ.එස්.පෙරේරා මහතාට ගී තනු නිර්මාණය සඳහා ආරාධනය කළේය. ඒ අනුව
‘අනේ දෙවියනේ ඔබ මගෙ පරම දෙවිසුරෝ ’ ‘සාගරේ තරුවෙනි ’ හා ප්‍රංශ ජාතික නිමල මරිය නිකායික හබෙස්ට්රෝ පියනම විසින් රචනා කළ
‘ දයා ප්‍රේමය’ නමැති ගීතිකාවට තනු නිර්මාණය ද ඔහු අතින් සිදුවිය.
ජේ.කේ.එස් ශුරීන් සංගීතඥයෙකු පමනක් නොවේ , දක්ෂ ගී පද රචකයෙකි. ඔහු විසින් රචිත ගීතිකා ද කතෝලික ගීත සාහිත්‍යට එකතු වී ඇත.
ජේ.කේ.එස් පෙරේරා විසින් තනු නිර්මාණය කළ හද රැඳි ගීතිකා අතර ‘දයා ප්‍රේමය’ – ‘සමිෙඳ් ඔබේ කූඩාරමේ සැරිසරන්නෝ කවුරුදෝ ‘ – ‘ බාරගන්න සමිඳුනේ – යන ගීතිකා වේ.
ඇදහිල්ල වෙනුවෙන් කළ සේවයක්
ජේ.කේ.එස් පෙරේරා මහතා සිය සංගීතය ජිවිතය මෙන්ම වසර 30කටත් වැඩි කාලයක් ගරුවරයෙකු හා විදුහල්පතිවරයෙකු ලෙස පරම්පරා ගණනාවකට විශාල සේවයක් ඉටුකරන ලදී. දශක හතරකට අධික කාලයක් තිස්සේ නයිනමඩම, බෝලවත්ත, තෝප්පුව වයික්කාල ප්‍රදේශයේ කතෝලික ජනතාවගේ ආධ්‍යාත්මික ජීවිතයට සංගිතයෙන් පණ දුන් ඔහු, මුදල් හෝ කීර්තිය පසුපස නොගිය සැබෑ කලාකරුවෙකි. එම ප්‍රදේශයේ කතෝලික දේවස්ථානවල ගීතිකා නාදයට ජීවය දුන් ජේ.කේ.එස්.පෙරේරා තරුණ හා ළමා පරපුරටද සිය දැනුම බෙදාදෙන ලදී. ගායනා කණ්ඩායම් වල සිටින තරුණ තරුණියන්ට නොමිලේ සංගීතය උගන්වා වයඹ පළාතේ පල්ලියේ ගීතිකා වල ගුණාත්මක භාවය ඉහළ නැංවීමට ඔහු විශාල මෙහෙයක් කර ඇත.
ජේ.කේ.එස් පෙරේරා ශුරීන් ඇගයීම වෙනුවෙන් කොළඹ අගරදගුරු පදවියෙන් ‘ කිතු නන්දන’ ප්රණාම සම්මානයෙන් පුදනු ලැබු අතර කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලබමින් ශ්‍රී ලාංකේය කිතුනු ගීතාවලියේ ගිහි පඩිරුව යන ගෞරව නාමයට පාත්‍ර විය.
ජේ.කේ.එස් පෙරේරා ශූරීන්ට පුතණුවන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් ජේ.කේ.ලාල් පෙරේරා සහ ජේ.කේ.අනුර පෙරේරා යන අයයි. මේ වනවිට ලාල් පෙරේරා ප්‍රකට වයලින් වාදකයෙකු මෙන්ම සංගීත ගුරුවරයෙකි.
නයිනමඩම ගමේ ජනතාව පවසන්නේ ඔහුගේ සේවය කිසිවිටෙකත් මුදලට නොව, ඇදහිල්ලට කළ සේවයක් බවයි. බොහෝ විට කිසිදු ගෙවීමකින් තොරව, දේවස්ථානයේ අවශ්‍යතාවය වෙනුවෙන් ඔහු රෑ , දහවල් සේවය කර ඇත. එබැවින් ඔහු විසින් දායාද කළ ගීත සම්පදාය උරුමයක් ලෙස වයඹ පළාතේ ඉතිහාසය ලියවෙන විට .කේ.එස්. පෙරේරා යන නම එහි ස්වර්ණමය අකුරින් ලියවෙනු නොඅනුමානය.
කතෝලික ගීත සාහිත්‍යයට සේවය කළ ප්‍රධාන පියතුමන්ලා සහ ගිහියන්
1 ගරු ගරු ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා
2. ගරු මර්සලින් ජයකොඩි පියතුමා
3 ගරු චුනවෙල් පියතුමා –
4 ගරු ඇල්ෆඩ් යංවා පියතුමා
5 ගරු ගරු සර්ජයස් ප්‍රනාන්දු පියතුමා
6 ගරු ජෝන් පහමුනේ පියතුමා
7 ගරු එඩ්මන් පීරිස් අගරදගුරු හිමිපාණෝ
8 මෝසැසි පෙරේරා පියතුමා
9 ජෝෂප් කබ්රාල් පියතුමා
10 ගරු දොන් පීටර් පියතුමා
11 ගරු මයිකල් රොද්‍රිගෝ පියතුමා
12 සුනිල් සාන්ත මහතා
13 අයිවෝ ඩෙනිස් මහතා







