පොලීසියට බියෙන් පලා ගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් වැව් ඉස්සමත්තක තිබී හමුවී ඇති බව මාදම්පේ පොලීස් ආරංචි මාර්ග පවසයි.ඉකුත් 07 වැනිදා සවස විලත්තව – මහගම ප්රදේශයේ වැව් ඉස්මත්තක තිබී මෙම මල සිරුර හමුවී ඇත. මිය ගොස් ඇත්තේ කටුපොත – කොස්දෙණිය පදිංචිකරුවෙකු වන බල්වල බදුගෙදර ගමගේ සමන් කුමාර රත්නායක (අවු:30) නම් අයෙකි.
හලාවත පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් පිරිසක් 07 වැනිදා දහවල් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා මහගම ප්රදේශයට ගොස් ඇත.පොලිස් නිලධාරීන් සැකකරුව සොයා ඇති නමුත් හමුවී නැත.ඒ අතර තුර නිවසක සිටි පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් දැක එම ස්ථානයෙන් පලා ගොස් ඇත.
එදින සවස මහගම වැව් ඉස්මත්තේ පුද්ගලයෙකු මිය ගොස් සිටින බවට මාදම්පේ පොලීසියට තොරතුරක් ලැබී ඇත.එම තොරතුරට අනුව විමර්ශණ සිදු කළ විට අනාවරණය වී ඇත්තේ මිය ගොස් සිටින්නේ දහවල් කාලයේ පොලිස් නිලධාරීන් දැක පලා ගිය පුද්ගලයා බවය.මෙම පුද්ගලයා පොලීසිය දැක පලා යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
07 වැනිදා රාත්රීයේ හලාවත වැඩ බලන මහේස්ත්රාත් ශානක උදයංක මහතා මල සිරුර තිබූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්රාත් පරීක්ෂණය පවත්වන ලදි. අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හලාවත මහා රෝහලට රැගෙන යන ලෙස වැඩ බලන මහේස්ත්රාත්වරයා නියම කරන ලදි.
මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.
ජුඩ් සමන්ත







