වැලි සහ මැටි කැපීම හේතුවෙන් ජලය පිරී ගිය විශාල වළක මසුන් මැරීමට ගිය එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු පසුගිය 04 වනදා දියේ ගිලී මිය ගොස් ඇති බව වාර්තා වේ. මෙම අවසානාවන්ත සිදුවීම සිදුව ඇත්තේ දංකොටුව – මහවත්ත ප්‍රදේශයේදියි. මෙලෙස මියගොස් ඇත්තේ ඇත්තේ දංකොටුව – මහවත්ත වතු යායේ පදිංචිව සිටි රවීන්ද්‍ර කුමාර (අවු:32) සහ ග්‍රේෂන් ප්‍රනාන්දු (අවු:42) නම් වූ ඒකම පවුලේ දෙදෙනෙකි.

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් දංකොටුව – මහවත්ත නම් වතු යායේ ඇති අක්කර 02 ක් පමණ ජලය පිරී ඇති විශාල වළක එම වත්තේ සේවය කරන කම්කරුවන් පිරිසක් ඉකුත් 04 වැනිදා රාත්‍රීයේ මසුන් මැරීමට ගොස් ඇත.මසුන් මැරීමට ප්‍රථම පිරිස එම ස්ථානයේ මත් පැන් පානය කර ඇති බවද අවට නිරීක්ෂණය කිරීමේදී තහවුරු වන බව පොලිිිස් ආරංචි මාර්ග සදහන් කරයි.
රාත්‍රී 8.00 ට පමණ මසුන් මැරීම සදහා ජලය පිරී ගොස් තිබෙන වළට අනතුරට පත්ව ඇති සහෝදරයින් දෙදෙනා බැස ඇත.නමුත් ඔවුන් ජලයේ ගිලී අනතුරට පත්ව ඇත.එම ස්ථානයේ සිටි සෙසු අය විසින් ජලයේ ගිලී අතුරුදහන්වූ දෙදෙනා සොයා ඇතත් පළක් වී නැත.
පසුව මේ බව දංකොටුව පොලීසියට දැණුම් දීමට එම පිරිස කටයුතු කර ඇත.05 වැනිදා පෙරවරුවේ නාවුක හමුදාවේ කිමිදුමකරුවන් පැමිණ දියේ ගිලී මිය ගොස් සිටි දෙදෙනාගේ සිරුර සොයා ගෙන ඇත.එම සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා මාරවිල මූලික රෝහලට ගෙන ගොස් ඇත.
අනතුර සිදුවී ඇති පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මහවත්ත වතු යාය තුළ වසර කීපයකට පෙර වැලි සහ මැටි ඉවත් කිරීමක් සිදු කර ඇත.එම වතු යායේ සිටින ගවයින්ට ජලය පානය කිරීම සදහා මෙම ස්ථානය සකස් කරන බවට එවකට පාලකයින් පවසා ඇත.නමුත් පසුව වැසි කාලයේදී ජලයෙන් පිරී යන අක්කර 02 ක් පමණ වන එම වළ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා තිබූ බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.අනතුර සිදුවී ඇත්තේ ජලයෙන් පිරී ඇති එම අනාරක්ෂිත වළ තුළය.
මිය ගොස් ඇති අයගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.
ජුඩ් සමන්ත







