ආරච්චිකට්ටුව පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය මාර්ග බාධකයේදී ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට ප්‍රධාන පෙලේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් මෝටර් රථයක් බව නීති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාසය විසින් අනාවරණය කර ගෙන ඇත.
ඉකුත් අගෝස්තු මස 09 වැනිදා රාත්‍රීයේ බත්තුළුඔය පොලිස් මාර්ග බාධකයේදී ගංජා කිලෝ ග්‍රෑම් 17 යි මිලි ග්‍රෑම් 985 ක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබුණි.අත්අඩංගුවට ගෙන ඇති 24 හැවිරිදි සැකකරු තණමල්විල – හබ්ඹේගමුව පදිංකරුවෙකු වන අතර,23 සැකකාරිය රාජාංගනය – යාය 03 ප්‍රදේශයේ පදිංචිකාරියකි.තමන් අඹු – සැමියන් බව සැකකරු සහ සැකකාරිය එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට පවසා ඇත.
තමන්ව මුදා හරින ලෙස ඉල්ලමින් ඔවුන් දෙදෙනා මුලින්ම රුපියල් ලක්ෂයක මුදලක් පොලිස් නිලධාරීන්ට ලබා දීමට යෝජනා කර ඇත.පසුව එම මුදල රුපියල් ලක්ෂ 05 දක්වා වැඩි වී ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සහ සැකකාරිය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ගංජා තොගය ප්‍රවාහනය කිරීම සදහා යොදා ගත් සුඛෝපභෝගී ජීප් රථය සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් නීති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාසයට දැණුම් දී ඇත.එම විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ අදාල සුඛෝපභෝගී ජීප් රථය තණමල්විල – හබ්ඹේගමුව පදිංචි ප්‍රකට මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “බතල හීන් මහත්තයා” යන අයට අයත් එකක් බවය.එම ජාවාරම්කරුවා විසින් තම දෙවැනි පුත්‍රයා නමට මෙම ජීප් රථය මිලදී ගෙන ඇති බවත් නීති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාසය අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව මෙම ජීප් රථය වෙනත් අයෙකුට පැවරීමට,අලවි කිරීමට හෝ ත්‍යාග වශයෙන් ලබා දීම වැළැක්වීම සදහා මුදල් විශුද්ධිකරණ පනත අනුව ක්‍රියාවිරහිත කරන ලෙස නීති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාසය විසින් 16 වැනිදා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.එම ඉල්ලීම පිළිගෙන ඇති මහේස්ත්‍රාත්වරයා අදාල ජීප් රථය වැඩිදුර විමර්ශණ කටයුතු සදහා නීති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාසයට බාර දෙන ලෙස නියෝග කර ඇත.
බතල හීන් මහත්තයා යන මත් ද්‍රව්‍ය ජාවාරකම්කරුවාව 2005 මැයි මස 03 වැනිදා ගංජා කිලෝ ග්‍රෑම් 501 ක් ළග තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානය මගින්ද,ගංජා නිලෝ ග්‍රෑම් 337 ක් ඔහුට අයත් බස් රථයකින් ඔහුගේ සේවකයින් මගින් ප්‍රවාහනය කිරීමේ වරදට 2021 අප්‍රියල් මස 01 වැනිදා කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්ද අත්අඩංගුවට ගෙන ඇත.ගංජා කිලෝ ග්‍රෑම් 130 ක් බැරලයක තුළ සගවා තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2022 සැප්තැම්බර් 30 වැනිදා මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් වැල්ලවායේදීද ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.ඒ සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව වැල්ලවාය සහ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයන් හී නඩු පැවරීමටද වැටලීම කළ නිලධාරීන් කටයුතු කර ඇත.
ජාවාරම්කරුවා සහ ඔහුගේ බිරිද සතුව තිබූ දේපල කීපයක්ද මේ වන විට ක්‍රියා විරහිත කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇත.

ජුඩ් සමන්ත







