Sunday, May 19, 2024

“අපිට ඒඩ්ස් නැහැ.“ කුලියාපිටියේ දරුවාගේ මව උසාවි යයි !

Must read

kuliyapitiya_ schoolboyතමාට හෝ තම දරුවාට HIV වෛරසය ආසාදිත වී නැති බවට ඉතා පැහැදිලි ලෙස වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කර තිබියදීත් සිය දරුවා පාසලකට ඇතුළත් කර නොගැනීමෙන් ඔහුගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝණය වී ඇති බව පවසමින් කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි මවක විසින් ඊයේ ( 03 දා) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. ජී. එන්. තිලකරත්න, කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ. එස්.කේ. ජයලත්, කුලියාපිටිය බෝහන්දිය සම්බෝධි විද්‍යාලයේ විදුහල්පතිවරයා, දියකලමුල්ල රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කරනු ලැබ සිටිති.

2010 සැප්තැම්බර් මස 17 වැනි දින උපන් මෙම දරුවාගේ පියා ක්ෂය රෝගය හේතුවෙන් 2015 අප්‍රේල් මස 24 වැනි දින මිය ගිය බවත්, එහෙත් එම මරණය HIV වෛරසය ආසාදනයවීමෙන් සිදු වූ එකක් බවට සහ තමාට හෝ තම දරුවාටද ඒඩ්ස් රෝගය වැළැදී ඇතැයි එක් පුද්ගලයෙකු විසින් ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රචාරයක් ගෙනගිය බවද පෙත්සම්කාරිය මෙම පෙත්සමෙන් කියයි.

මේ තත්වය මත මෙවර පළමු වසර සදහා පාසලකට ඇතුළත් කළ යුතු තම දරුවා භාරගැනීම බෝහන්දිය සම්බෝධි විද්‍යාලය ඇතුලු කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ සියලු පාසල්වලින් ප්‍රතික්ෂේපකිරීම නිසා ගම දරුවාගේ අධ්‍යාපන ලැබීමේ අයිතිය උල්ලංඝණය වී ඇති බව පෙත්සම්කාර මව කියා සිටින්නීය.

තම දරුවාගේ අධ්‍යාපන ලැබීමේ අයිතියට බාධාකරන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශණය කර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලෙසටද, තම නිවසේ සිට සැතපුම් දෙකක් ඇතුළත පිහිටි පාසලකට දරුවා ඇතුළත් කරගන්නා ලෙස අධ්‍යාපන බලධාරීන් වෙත නියෝග කරන ලෙසටද ඕ සිය මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

දිනමිණ ඇසුරිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article