Sunday, May 19, 2024

ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ පළමු රැස්වීමේදීම එජාප සභිකයෙක් ඉල්ලා අස්වෙයි.

Must read

ibbagamuwa_ps_01

ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ පළමු මහ සභා රැස්වීම ඊයේ (29 දා) පැවැති අතර, මැතිවරණ කොට්ඨාශයක් ජයග්‍රහණය කරමින් එම සභාවට තේරී පත්ව සිටි සභිකයෙකු එම ධූරයෙන් ඉල්ලා අස්වීම එහිදී සිදු වූ විශේෂ සිදුවීමක් විය.

මෙලෙස සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූයේ හිරියාල ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරමින් සිටින ජගත් මංජුල යාපා මහතාය. පසුගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් හුණුපොල මැතිවරණ කොට්ඨාශය සදහා තරග වැදුණු ජගත් යාපා මහතා එම කොට්ඨාශය වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කරමින් ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට තේරීපත් වී සිටියේය.

හයවැනි ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ මංගල සැසිය එහි සභාපති යූ.කේ. සුමිත් උඩුකුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දහවල් සභා රැස්වීම් ශාලාවේදී පැවැති අතර ඒ සදහා ජගත් යාපා මහතා හැර අනෙක් සියලු සභිකයින් සහභාගි වී සිටියහ. සභා ලේකම්වරයා මගින් සභාව වෙත ලිපියක් යොමුකර තිබූ ජගත් යාපා මහතා, තමන් සභික ධූරයෙන් ඉල්ලා අස්වන බවටත්, පුරප්පාඩු වන මන්ත්‍රීධූරය සදහා සුදුස්සෙකු පක්ෂය විසින් ඉදිරියේදී නම්කරනු ඇති බවටත් සභාව වෙත දැනුම් දී තිබිණි. සභාපති සුමිත් උඩුකුඹුර මහතා විසින් අදාල ලිපිය සභාවට ඉදිරිපත් කරමින් සෙසු මන්ත්‍රීවරුන් වෙත ද අදාල ඉල්ලා අස්වීම පිළිබදව දැනුම් දුන්නේය.

මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම් වාරයේදී ජගත් යාපා මහතාගේ ඉල්ලා අස්වීම පිළිබදව අදහස් දැක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ගාමිණී දිසානායක මහතා ප්‍රකාශ කළේ පළමු සභා රැස්වීමේදීම මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වීම පිළිබදව අසන්නට ලැබීම කණගාටුවට කරුණක් බවය. ජනතාවගේ ඡන්දය ලබාගනිමින් පත්ව සිටින සෙසු මන්ත්‍රීවරුන්වත් ඉදිරියේදී එවැනි ආකාරයට කටයුතු නොකරනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම පැවැසීය. ඊට ප්‍රතිචාර දැක් වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රුවන් සංජීව මහතා ප්‍රකාශ කළේ,  හිරියාල ආසනයේ වත්මන් ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් සිටින ජගත් යාපා මහතා ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ බලය දිනාගැනීම අරමුණු කරගනිමින් පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ බවය. නමුත් අනපේක්ෂිත මැතිවරණ ප්‍රතිඵලයක් ලැබීම හේතුවෙන් ජගත් යාපා මහතාට ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු ලෙස කටයුතු කිරීමට සිදු වී ඇති බවත්, ආසන සංවිධායකවරයා ලෙස එක් කොට්ඨාශයකට පමණක් සේවය කිරීමට නොහැකිවීම හේතුවෙන් සභික ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

මන්ත්‍රීධූර 44 ක් සහිත ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවෙන්, මන්ත්‍රීධූර 23 ක් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පසුගිය මැතිවරණයේදී එහි බලය තහවුරු කරගත් අතර, එම පෙරමුණ ලැබූ ඡන්ද ප්‍රමාණය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට පනහ ඉක්මවීම හේතුවෙන් එහි සභාපතිවරයා ලෙස සුමිත් උඩුකුඹුර මහතා එම පක්ෂය මගින් නම් කර තිබිණි. ඒ හේතුවෙන් සභාපතිවරයා තෝරාගැනීම සදහා සභාව තුළ ඡන්ද විමසීමක් සිදුනොවූ අතර කිසිදු ගැටුමකින් තොරව සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවිය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article