Friday, May 3, 2024

උඩයාර් මාවත සංවර්ධනයට, ජවිපෙ ගෙනා යෝජනාව අහකට !

Must read

udayar_mawata_jvp_3

තෙලියගොන්න, උඩයාර් මාවත පුළුල් කොට සංවර්ධනය කළ යුතු බවට මන්ත්‍රීවරයෙකු විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනෙක් කිසිදු මන්ත්‍රීවරයෙකු විසින් ස්ථිර නොකිරීම හේතුවෙන් එම යෝජනාව විවාදයට නොගෙනම න්‍යාය පත්‍රයෙන් ඉවත්වීමේ සිදුවීමක් පෙරේදා (05 දා) පැවැති කුරුණෑගල මහනගර සභාවේ මාසික සභා රැස්වීමෙන් වාර්තා විය.

මෙලෙස න්‍යාය පත්‍රයෙන් ඉවත් වූයේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන නාගරික මන්ත්‍රී රනුක සනංජය මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකි. ඔහු විසින් සභාවට ඉදිරිපත් කළ යෝජනාවේ මෙලෙස සදහන් විය.

“ කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයට අයත් නුවර පාරේ, තෙලියගොන්න උඩයාර් මාවත දිගින් දිගටම සංවර්ධනය නොවන මාර්ගයක් බවට පත්ව ඇත. මීට හේතුව නඩු තීන්දුවක් තිබියදීත් මෙම මාර්ගයේ පිවිසුම පුළුල් කිරීමට අදාල ගොඩනැගිලි හිමිකරුගේ උවමනාව මත නොසලකා හරිමින් සිටීමය. මෙම මාර්ගය විශාල පිරිසකගේ අනාගත අවශ්‍යතාවය වෙනුවෙන් හැකි ඉක්මනින් පුළුල් කොට සංවර්ධනය කළ යුතු බවට මෙම සභාවට යෝජනා කර සිටිමි. “ යැයි එම යෝජනාවේ විය.

ජවිපෙ මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව ස්ථිර කිරීමට නගර සභාවේ පක්ෂ විපක්ෂ වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් නොවීම විශේෂත්වයක් විය. ඒ හේතුවෙන් අදාළ යෝජනාව විවාදයට නොගෙනම න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමට සිදුවන බවට නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා නිවේදනය කළේය.

එම යෝජනාව පිළිබදව අදහස් දක්වමින් සෙසු නාගරික මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ උඩයාර් මාවත පුළුල් කොට සංවර්ධනය කිරීමට එරෙහිව පවරා ඇති නඩුවක් මේ වනවිට අධිකරණය හමුවේ විභාගවෙමින් පවතින බවය. එබැවින් අධිකරණය හමුවේ විභාග වන කරුණක් සම්බන්ධයෙන් සභාව තුළ විවාද කළ නොහැකි බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

කුරුණෑගල මහනගර සභා ඉතිහාසය තුළ, මන්ත්‍රීවරයෙකු විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සෙසු මන්ත්‍රීවරුන් විසින් ස්ථිර නොකිරීම හේතුවෙන් එම යෝජනාව න්‍යාය පත්‍රයෙන් ඉවත් කෙරුණු පළමු අවස්ථාව මෙය වන බවද වාර්තා වෙයි.

මූලාශ්‍ර වාර්තාව – පුෂ්පකුමාර ජයරත්න, ලංකාදීප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article