Friday, May 3, 2024

කහටගහ පතල් කම්කරුවෝ අඩි 1100 ක් පොළව යට උපවාසයක (ඡායාරූප )

Must read

රුපියල් පහළොස් දහසක අලූත් අවුරුදු ප‍්‍රසාද දීමනාවක් ලබාදෙන ලෙසට ඉල්ලමින් කුරුණෑගල, දොඩම්ගස්ලන්ද කහටගහපතළේ සේවයේ නියුතු පතල් කම්කරුවන් හැත්තෑවකට අධික පිරිසක් පොළවේ සිට අඩි 1132 ක් පමණ පොළව අභ්‍යන්තරයේ පිහිටි මිනිරන් දෝනාවක ඊයේ සිට (29 දා) උපවාසයක් ආරම්භ කර තිබේ.

ඊයේ උදෑසන සේවය සදහා පැමිණි පතල් කම්කරුවන් පතලේ සවිකර ඇති සෝපානවල ආධාරයෙන් පතළට ඇතුළු වී, එහි ‘පේදිරිස් මට්ටම’ලෙස හැදින්වෙන කොටසේ දෝනාවක වාඩි වී මෙම උපවාසය ආරම්භ කළහ. උපවාසකරුවන්ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම සදහා පොළව මතුපිට රුදී සිටින කම්කරුවන් කිහිපදෙනෙකු හැර අන් සියළු කම්කරුවෝ මෙම උපවාසයට එක් වී සිටිති.දොඩම්ගස්ලන්ද, මදුරාගොඩ ප‍්‍රදේශයේ පිහිටා තිබෙන, කහටගහ ගැෆයිට් ලංකා යන නමින් හැදින්වෙන කහටගහපතළ , ලොව උසස්ම තත්වයේ මිනිරන් නිෂ්පාදනය කරන මිනිරන් පතළක් ලෙස ප‍්‍රකටව පවතී. කහටගහ ගැෆයිට් ලංකා සමාගම අද වන විට පූර්ණ රාජ්‍ය සතු සමාගමක් ලෙස සභාපතිවරයෙකුගේ පාලනය යටතේ පවතී.

පතල් කම්කරුවන්ගේ ඉල්ලීම් පිළිබදව පැහැදිලි කළ ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, කහටගහ ගැෆයිට් ලංකා ශාඛාවේ කැදවුම්කරු, අජිත් රත්නතිලක මහතා මෙසේ පැවසීය.

”ලාභ ලබන ආයතනයක් විදිහට අපිට මේ ආයතනයෙන් සෑම අවුරුද්දකම ප‍්‍රසාද දීමනාවක් ගෙව්වා. නමුත් මේ අවුරුද්දේ ඒ දීමනාව ලැබෙන්නේ නැති තත්වයකට ආවාම අපි ඒ ගැන අපේ සභාපතිතුමා එක්ක තුන් හතර වතාවක්ම සාකච්ඡා කළා. නමුත් ඒකට මේ දක්වාම විසදුමක් ලැබුණේ නැති තැන තමයි කහටගහ ගැෆයිට් ලංකා ආයතනයේ සේවකයෝ මේ විදිහට පොළව ඇතුළට බැහැලා මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ. බෝනස් එකක් විදිහට රුපියල් පහළොස් දාහක් වගේ ඉතාම සොච්චම් මුදලක් තමයි අපි ඉල්ලන්නේ. අපේ ගිණුම් අංශයේ නිලධාරීන් සහ පරිපාලන නිලධාරීන් තහවුරු කරනවා කහටගහ ගැෆයිට් ලංකා ආයතනය ලාභ ලබන ආයතනයක් කියලා. තමන්ගේ ජීවිතය පවා අවදානමේ දාගෙන ඉතාම අවදානම් කාරියක් කරන මේ පතල් සේවකයෝ ඉල්ලා සිටින මේ සොච්චම් දීමනාව ලබා දෙන්න ලාභ ලබන ආයතනයකට බැරි ඇයි කියලයි අපි අහන්නේ ? අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපේ මේ සාධාරණ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාරයක් ලබාදෙන්න ඔබතුමාන්ලා මැදිහත් වෙන්න කියලයි. අපි පතළෙන් එළියට ඇවිත් සාමාන්‍ය විදිහට වැඩ කරන්නට නම් අපේ මේ ඉල්ලීම ඉටුකරන බවට සහතිකයක් ලැබිය යුතුයි. ”යැයි පැවසීය.

උපවාසයේ යෙදුණු පතල් සේවකයෙකු අසාධ්‍ය තත්වයට පත්වීමෙන් අද (30 දා) දහවල් රිදීගම දිසා රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.

2013 අපේ‍්‍රල් මස 17 සහ 18 යන වැනි දිනවලදීත් කහටගහ ගැෆයිට් ලංකා සමාගමේ පතල් කම්කරුවන් පිරිසක් අලූත් අවුරුදු ප‍්‍රසාද දීමනාව මුල්කරගනිමින් මේ අයුරින්ම පොළව අභ්‍යන්තරයේ සිට උපවාසයක යෙදුණු අතර බලධාරීන් විසින් අදාළ ඉල්ලීම් ලබාදීමට එකගවීමෙන් පසුව පොළව මතුපිටට පැමිණි පතල් සේවකයෝ උපවාසය අවසන් කළහ.

update
කහටගහ ගැෆයිට් ලංකා ආයතනයේ සභාපතිවරයාගෙන් ලැබුණු ලිඛිත පොරොන්දුවකට අනුව පතල් කම්කරුවන් විසින් සිය උපවාසය මීට ටික වේලාවකට පෙර අවසන් කර ඇති බව වාර්තා වෙයි.

pathala_6 pathala_5 pathala_4 pathala_3 pathala_1 pathala_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article