Monday, May 6, 2024

කිරි බොන්න දී රියදුරා මත්කර ටිපරයක තිබූ වැලි ලෝඩ් එකටයි, ටයර් හතරටයි විදලා !

Must read

tipperමනම්පිටිය ප‍්‍රදේශයේ සිටි වැලි ප‍්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක රියදුරෙකුට කිරි පැකැට්ටුවක් බීමට දී මත් කර එම ලොරියේ ප‍්‍රවාහනය කරමින් තිබූ වැලි තොගය සහ ලොරියට සවිකර තිබූ ටයර් හතරක් සොරාගත් බව කියන අයෙකු කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගනු ලැබූහ.

පසුගිය 28 වැනිදා මනම්පිටිය ප‍්‍රදේශයේ සිට මරදාන බලා වැලි ප‍්‍රවාහනය කරමින් තිබූ මෙම ටිපර් රථයට කුරුණෑගල බඩගමුව රක්ෂිතය ආසන්නයේදී අත දමා නවතාගෙන ඇති සැකකරු තමන්ට අඹේපුස්සට යාමට හැකිදැයි විමසමින් ඊට ගොඩ වී තිබේ. ඒ යන අතරමගදී ලොරි රථ රියදුරු සමග හිතවත් වී ඇති මෙම පුද්ගලයා ඔහුට කිරි පැකැට්ටුවක් බීමට ලබා දී ඇති අතර එය පානය කළ ලොරියේ රියදුරු සිහිමූර්ඡා වී තිබේ. පසුව සැකකරු විසින් ටිපර් රථය නෙඵම්දෙණිය ප‍්‍රදේශයට ගෙන ගොස් එහි තිබූ වැලි තොගයද යම් ස්ථානයක බා එම ප‍්‍රදේශයේම පිහිටි ටයර් වැඩපොළක් වෙත ලොරිය ගෙන ගොස් තිබේ. එහිදී ඊට සවිකර තිබූ අලුත් තත්වයේ ටයර් හතර එම වැඩපොළට විකුණා ගෙවී ගිය ටයර් හතරක් ලොරියට සවිකරවා ගැනීමෙන් අනතුරුව අලව්ව – ගිරිඋල්ල මාර්ගයේ වෙල්යායක් අසලට ගෙනැවිත් ඇති සැකකරු සිහිමුර්ඡා වූ රියදුරු සහ ලොරිය එම ස්ථානයේ දමා පලාගොස් තිබේ. ඊට පසුදින උදෑසන සිහිමූර්ඡා වූ රියදුරෙකු සමග ලොරියක් මහමග අයිනේ නවතා තිබෙනු දුටු වෙනත් ලොරි රියදුරෙකු විසින් ලොරියේ සදහන් වී තිබූ එහි හිමිකරුගේ දුරකථන අංකවලට අමතා ඒ බව දැනුම් දී තිබේ. එම දැනුම්දීමට අනුව එහි පැමිණි ලොරි හිමිකරු ඒ වනවිටත් සිහිමද ගතියෙන් පසු වූ රියදුරු රෝහල්ගත කිරීමෙන් පසුව ඒ පිළිබදව පොලිසියට පැමිණිලි කර තිබේ.

ලොරියට සවි කර තිබූ ගෙවී ගිය ටයර්වල අංක ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් ඒවා මාරු කළ නෙඵම්දෙණිය ප‍්‍රදේශයේ ටයර් වැඩපොළ පිළිබදව පළමුව තොරතුරු අනාවරණය කරගෙන තිබේ. පසුව එහි හිමිකරුගෙන් කළ ප‍්‍රශ්නකිරීම්වලදී වාරික ගෙවීමට නොහැකිවීම නිසා තම ලොරිය ෆිනෑන්ස් ආයතනයකට භාරදීමට යන බව පවසා සැකකරු එහි තිබූ අලුත් ටයර් හතර තමන්ට විකුණා පැරණි ටයර් හතරක් සවිකරගත් බවට පොලිසිය වෙත ප‍්‍රකාශයක් ලබා දී තිබේ.

සැකකරු විසින් ලබා දුන් කිරි පැකැට්ටුව පානය කළ ලොරි රථයේ රියදුරු ප‍්‍රකෘති තත්වයට නොපැමිණීම හේතුවෙන් ඔහු මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් පසුවෙයි. අත්අඩංගුවට ගත් සැකකරු කුරුණෑගල වැඩබලන මහේස්ත‍්‍රාත් කීර්ති ජී දුණුසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් හෙට (08 දා ) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළ අතර හෙට දිනයේදී හදුනාගැනීමේ පෙරෙට්ටුවක් සදහා සැකකරු ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.

සැකකරු විසින් ලොරියේ තිබූ වැලි තොගය බා ඇත්තේ කොහේදැයි අනාවරණය කරගැනීම සදහා වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන අතර කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිංලක බාලසූරිය මහතාගේ මෙහයවීමෙන්, උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ , පොලිස් සැරයන් සමරසිංහ (23832 ) , පොලිස් කොස්තාපල් කීර්ති (36757 ) සහ බණ්ඩාර (76621 ) යන නිලධාරීහු විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.

(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති  ඉහත ඡායාරූපය මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article