Saturday, May 18, 2024

ටිකිරි බණ්ඩගෙයි – මහඇමැතිගෙයි දේශපාලන රැස්වීම්වලට කිරි දරුවොත් ගෙන්වති ! (ඡායාරූප)

Must read

alu_yata_gini_april_7වයඹ පළාත් සභාව මේ ගෙවා දමමින් සිටින්නේ පළාත් සභා ඉතිහාසයේ අදුරුතම සහ අසාර්ථකම කාලවකවානුව බවට පසුගිය සතියේ ‘අඵ යට ගිනි’ පිටුවෙහි තැබූ සටහන පළාත් සභාවට සෘජුව සහ වක‍්‍රව සම්බන්ධකම් දක්වන බොහෝදෙනෙකුට සිත්වේදනා ගෙන දී ඇති බවක් පෙනෙයි. දුරකථනයෙන් ලියුම්කරු ඇමතූ මෙන්ම මගතොටේදී පවා මුණගැසුණු එවැනි මහත්වරුන් කිහිපදෙනෙකුම සභාපති ටිකිරි බණ්ඩා විසින් මාධ්‍යවේදීන් දොට්ට දැමීමේ සිදුවීම පදනම් කරගනිමින් සමස්ත වයඹ පළාත් සභාවටම මාධ්‍ය හරහා ප‍්‍රහාර එල්ල කිරීම අසාධාරණ බවට කරුණු දක්වන්නට වූහ. ටිකිරි බණ්ඩා විසින් තනිව කළ වරදකට පළාත් සභාවේ සියලු දෙනාටම දඩුවම් කිරීම අසාධාරණ බවටද එම මහත්වරුන් ලියුම්කරු සමග වැඩිදුරටත් තර්ක කරන්නටද වූහ. ටිකිරි බණ්ඩා වරදක් කරන බව දැන දැනත් ඊට එරෙහි නොවීමද ඒ හා සමාන වරදක් බවත්, එය ටිකිරි බණ්ඩාගේ ක‍්‍රියාව වක‍්‍රාකාරයෙන් අනුමත කිරීමක් බවත් එම තර්ක විතර්ක ඉදිරිපත් කළ මහත්වරුන් හමුවේ නැවත වරක් පැහැදිලි කරදෙන්නට ලියුම්කරුට සිදු විය. ටිකිරි බණ්ඩා කළ වරදකට සමස්ත පළාත් සභාවටම මාධ්‍යයෙන් ප‍්‍රහාර එල්ලකිරීම අසාධාරණ නම් එක් වාර්තාකාරිනියක විසින් ලියුවේ යැයි කියන වැරදි ප‍්‍රවෘත්තියක් පදනම් කරගනිමින් පළාත් සභාව වාර්තාකරන සියලුම මාධ්‍යවේදීන් දොට්ට දමා සමස්ත මාධ්‍යයටම දඩුවම් කිරීම සාධාරණදැයි ලියුම්කරු විසින් අදාළ මහත්වරුන්ගෙන් පෙරළා කළ ප‍්‍රශ්න කිරීම්වලදී ඔවුහු නිරුත්තර වී ගියහ. තරහ මරහා අමතක කර දමා මාධ්‍යවේදීන්ට යළිත් පළාත් සභාවට පැමිණිය හැකි වාතාවාරණයක් ඇතිකරවනු පිණිස තමන් මැදිහත්වන්නදැයි එම මහත්වරුන් අතරින් කිහිපදෙනෙකු විසින් අවංක චේතනාවෙන් යුතුව විමසා සිටි නමුත් මාධ්‍යවේදීන් එළවා දමා යකා නැටූ ටිකිරි බණ්ඩාගේ විකල් හැසිරීම පිළිබදව පළාත් සභාව පැත්තෙන් මේ වෙන තෙක් මාධ්‍යවේදීන් වෙත කණගාටුවක්වත් පළ වී නැති කලෙක එවැනි උත්සාහයක දැරීම පවා නිශ්ඵල ක‍්‍රියාවක් වනු ඇති බවටද මාධ්‍යවේදීන්ගේ පැත්තෙන් එම මහත්වරුන් වෙත කරුණු පැහැදිලි කරදෙන්නට ලියුම්කරුට සිදුවිය.

‘‘ඡන්දේ ඉල්ලගෙන ආයෙත් නම් එන්න එපා. ’’කුලියාපිටියේ මිනිස්සු දෙහිගමගේ මූණටම කියති.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ආසන මට්ටමින් පවත්වනු ලබන පාක්ෂිකයන් දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණය පසුගිය සෙනසුරාදා පෙරවරුවේ පැවැත්වුණේ කුලියාපිටිය ජනාධිපති ශිල්ප ශාලිකාවේදීය. කුලියාපිටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක අතුල විජේසිංහ විසින් සංවිධානය කර තිබූ මෙම සම්මන්ත‍්‍රණයෙහි ආරාධිත දේශණය පැවැත්වීම සදහා හිටපු අමාත්‍ය ලලිත් දිසානායක කෑගල්ලේ සිට එහි පැමිණ සිටියේය. සම්ම්න්ත‍්‍රණය ආරම්භවීමෙන් පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයද සිහිපත් කරමින් ලලිත් දිසානායක සිය කතාව ආරම්භ කළ නමුත් ඔහුට වැඩි වේලාවක් කතාකරන්නට නොලැබුණේය. ‘‘අවාසනාවකට වගේ පසුගිය ජනාධිපති මැතිවරණය ජයග‍්‍රහණය කරන්න අපිට බැරි වුණා.’’ යැයි ලලිත් කියනවාත් සම`ග ශාලාවේ පිටුපස වාඞීවී සිටි පිරිසක් ‘‘පැරදුණා නෙවෙයි පැරැද්දුවා’’යැයි කියමින් ඊට විරෝධය දක්වන්නට වූහ. පාක්ෂිකයින්ගේ විරෝධතාවය මැද්දේම සිය කතාව කරගෙන යන්නට ලලිත් උත්සහ කළ නමුත් ටිකෙන් ටික වැඩි වර්ධනය වූ විරෝධතාවයත් සමගම එය අසාර්ථක විය. කෑ කෝ ගසන පිරිස අතරින් නැගී ආ හූ හඩ ලලිත්ගේ රතු කට්ට පැන්න වූ බව පෙණිනි. ‘‘බොහොම හොදයි සහෝදරවරුනි, ඔබ ඔය හූ කියන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට බව මතක තියාගන්න’’ යැයි කෝප ස්වරයෙන් කී ලලිත් සිය අසුන වෙත ගොස් වාඩිවූයේය. ඒ සමගම ආරාධිතයින් අසුන්ගෙන සිටි වේදිකාව ඉදිරිපිටට ආ කලහකාරී පිරිස ලලිත් දිසානායකට පරුෂ වචනයෙන් බැණ වදින්නටත්, ශාලාවෙන් පිටවී යන ලෙසටත් බලකරමින් කෑකෝගසන්නට වූහ. සම්මන්ත‍්‍රණයට සහභාගි වී සිටි අනෙක් පිරිස්ද විරෝධය දක්වන පිරිස් විසින් ඒ සදහා පොලඹවා ගන්නා බවක්ද පෙණිනි. මේ උණුසුම මැද්දේ වේදිකාවෙන් බැස පිරිස අතරට ගිය අතුල විජේසිංහ තත්වය පාලනය කිරීම සදහා සෑහෙන මහන්සියක් ගත් නමුත් එය සාර්ථක නොවීය. ආපසු වේදිකාවට නැග කථන මේසය වෙත ගිය අතුල පිරිස අමතන්නට විය. ‘‘මට එක විනාඩියක් දෙන්න. මම තමුන්නාන්සේලාට මොකුත් කරදරයක් කරලා නෑනේ. ඒ නිසා මම කියන එක විනාඩියකට අහන්න. තමුන්නාන්සේලාට තරහක් වෛරයක් තියෙනවා නම් මෙතැනට ඇවිල්ලා මට ගහන්න. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයවෙනවා නම් මාව මරලා දැම්මත් කමක් නෑ. මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ම්න්ත‍්‍රණයේ පක්ෂ අදහස් තියෙනවා. විරුද්ධ අදහස් තියෙනවා. මධ්‍යස්ථ අදහස් තියෙනවා. ඒ හැම අදහසකටම අපි සාවධානව සවන් දෙමු. එහෙම නැතුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි දෙකට බෙදිලා ගහමරාගන්න ගියොත් එකේ වාසිය යන්නේ යූඇන්පියට. ’’කියනවාත් සමග පිරිස අතුල වෙතද කෑ කෝ ගසමින් විරෝධය පාන්නට වූහ. ‘‘හරි හරි මමනේ දැන් කතාකරන්නේ. යකෝ මේ කුලියාපිටියේ මට කතාකරන්න බැරිනම් කාටද කතාකරන්න පුලුවන් ’’ අතුල කැරළිකරුවන්ට උත්තර දෙමින් කීය. අතුලගේ මහන්සිය නැවත වරක් අපතේ යවමින් පිරිසගේ ගාලගෝට්ටිය දිගින් දිගටම ඇදී ගියේය. පැය භාගයකට වැඩි වේලාවක් කැරළිකරුවන් සන්සුන් කරවීම සදහා ගත් උත්සාහය අන්තිමේදී අතහැර දැමූ අතුල ‘‘මෙතැනින් මේ රැස්වීම ඉවරයි. ඒකට සහභාගි වෙන්න ආපු තමන්නාන්සේලා හැමෝටම ස්තුතියි’’කියා පිරිසට ආයුබෝවන් කීවේය. එතෙක් වේලා නිහඩව සිටි පළාත් ඇමැති ගුණදාස දෙහිගම කට ඇරියේ කෝලාහල කළ පිරිස ශාලාවෙන් පිටවී යමින් සිටියදීය. ‘‘ඔයාලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෞරවයක් තියෙනවා නම් කෑ කෝ ගහලා කලබල කරන්නේ නැතුව මෙතැනින් පිටවෙලා යන්න. අපිත් දැන් යනවා.’’දෙහිගම කීය. එතෙක් වේලා කරබාගෙන සිටි දෙහිගම හදිසියේ කට ඇරීම නිවෙමින් පැවැති ගින්නකට භූමිතෙල් වත්කළාක් බදු විය. ඇමැතිවරයාට ලුණු දෙහි ඇතිව අමතන්නට වූ පිරිස දෙහිගම නාමය පතුරු හරින්නට වූහ. ඒ සමග නැගුණු හූ හඩින් ශාලාව පිරී ඉතිරී යන්නට විය. දෙහිගමට නැගෙන හූ හඩ මැද්දේම ලලිත් දිසානායක ශාලාවෙන් පිට වී ගියේ ‘‘මහින්ද රාජපක්ෂ මහත්තයාට හූ කියනවා ’’යැයි කියමිනි. තවත් මොන මොනවාදෝ කියමින් තම වාහනයට නැගුණු ලලිත් ජනාධිපති ශිල්ප ශාලිකා බිමෙන් පිටත් වී ගියේය. තමන්ට නැගුණු හූව හේතුවෙන්දෝ කෝප ගැන් වී සිටි ඇමැති දෙහිගම වාහනයට නැගීමට පෙර ගාලගෝටිටි කළ පාක්ෂිකයින්ට දෙස් තියන්නට විය. ‘‘මහින්ද මහත්තයාට වැඩ කෙරුවේ අපිනේ යකෝ. වැඩකරපු උන් කෑ ගැහැව්වා නම් කමක් නෑ. අපියි මහින්දට වැඩකෙරුවේ පණදීගෙන.’’දෙහිගම කීය. ‘‘ඇයි ඔයා විතරද ? අපි අපිත් වැඩකෙරුවා. ඔයානේ මහින්ද පෙන්නලා අපේ ඡන්දෙත් අරන් ගිහින් මෛත‍්‍රීගෙන් ඇමැතිකම් ගත්තේ. හැබැයි මහත්තයෝ ආයෙ නම් ඡන්දේ ඉල්ලාගෙන අපේ ගම්වලට එන්න එපා. ’’යැයි කියමින් දෙහිගමගේ මූණටම බැණ වදින්නට වූ පිරිස යළිත් දෙහිගමට හූ හඩ කියන්නට වූහ. ඇමැති දෙහිගමත් මොන මොනවාදෝ කෝපයෙන් ගුගුරමින් වාහනයේ නැගී හූ හඩ මැද්දේම එතැනින් පිට වී ගියේය. ලලිතුත්, දෙහිගමත් හූ හඩ මැද්දේ පිට වී ගිය පසුව අන්තිමට එතැනින් යන්නට ආවේ අතුල විජේසිංහ රැගත් වාහනයයි. පිරිස අතුලගේ වාහනයද නවතා ගත්හ. ‘‘ඔයා බයනැතුව යන්න. අපි ඔයාට හූ කියන්නේ නැහැ.’’පිරිස අතුලට දැක්වූයේ එවැනි ප‍්‍රතිචාරයකි. පිරිසගේ මිත‍්‍රශීලී ප‍්‍රතිචාරය සිනාමුසු මුහුණින් යුතුව පිළිගත් අතුලද එතැනින් පිට වී ගියේය.

දේශපාලනඥයින්ගේ අනාගතය තීරණය කරන ජනතා කැමැත්ත ඇතිවීම සහ නැතිවීම සම්බන්ධයෙන් ඇත්තේ කෙස්ගසක වෙනසක් බව කියන්නට හොදම උදාහරණයක් ලෙස කුලියාපිටියේ මෙම සිදුවීම සැලකිය හැකිය. මන්ද මීට වසර දෙකකට පෙර පැවැති වයඹ පළාත් සභා මැතිවරණයේදී එවකට ප‍්‍රධාන අමාත්‍ය ධූරය හෙබ වූ අතුල විජේසිංහද පරදවමින් මනාපවලින් ඉහළට එන්නට දෙහිගම සමත් විය. එමෙන්ම කුලියාපිටිය ආසනය නියෝජනය කරමින් තරග වැදුණු අපේක්ෂකයින්ට වැටුණු මනාප ඡන්ද පිළිබදව සලකා බැලීමේදී දෙහිගම අතුලට වඩා ජනප‍්‍රිය තලයක සිටින බවක් පෙණිනි. කුලියාපිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂකයින් විසින් අද මේ අයුරින් හූ තබමින් එළවා දමන්නේ එදා ජනප‍්‍රිය තලයක වැජඹුණු දෙහිගමම වීමද දෛවෝපගත සිදුවීමකි. ආයෙත් නම් ඡන්දේ ඉල්ලාගෙන තමන්ගේ ළගට එන්නට එපා යැයි පාක්ෂිකයින් විසින් මූණටම ඇගිල්ල දිගු කරන්නේ මීට දෙවසරකට පෙරදී මනාප වාර්තා පිහිට වූ දෙහිගමට වීමද විශේෂත්වයකි. අනෙක් අතට ඔයාට අපි හූ කියන්නේ නෑ යැයි කියමින් හිරිහැරයකින් තොරව පාක්ෂිකයින් විසින් මුදාහරිනු ලබන්නේ එදා ඔවුන් විසින්ම මනාපවලින් පල්ලම් බැස්ස වූ අතුලය. අද වන විට කුලියාපිටියේ ශ‍්‍රී ලංකා කාරයින් අතර වඩාත් නමක් සිටින බව පෙනෙන්නේ, මහ ඇමැතිකම අහිමිව සාමාන්‍ය මන්ත‍්‍රීවරයෙකු ලෙස වයඹ පළාත් සභාවේ අසුන්ගන්නා විට ‘අතුලගේ දේශපාලනය ඉවරයි’යැයි බොහෝදෙනෙකු අනාවැකි පළකළ අතුල විජේසිංහ වීම එක් අතකින් දෛවයේ සරදමක් බදුය.

මහ ඇමැතිගෙන් මහඇමැතිට පැටව් ගහන වයඹ පස් අවුරුදු සැලසුම්.

ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන පළාත් සභා සංකල්පයට වැදී ඇති සුදු අලි ලේබලය තවමත් ගැලැවී ගොස් නැත. ලංකාවේ ඇති පළාත් සභාවන් අතරින් සුදු අලි සංකල්පය වඩාත් හොදින් පෝෂණය කරන්නා වූ පළාත් සභාව තෝරාගැනීමක් කළහොත් එහි මුල් තැන දිනාගැනීම සදහා අවශ්‍ය වන සුදුසුකම් මේ දිනවල වයඹ පළාත් සභාව සපුරා ගනිමින් සිටී. ඉතිහාසයේ පළමුවරට ජනාධිපතිවරයෙකු කලුවරේ තැබීමේ අනභිබවනීය වාර්තාවක් ඉකුත් සතියේදී තමන්ගේ නමින් ලියවා ගත් වයඹ පළාත් සභාව සිය ජෙනරේටර් කාමරයද පොලිසිය ලවා සීල් තබ්බවා ගත්තේය. මහජන මුදල් කාබාසීනියා කිරීමේ පුරෝගාමියෙකු බවට පත් වී සිටින වයඹ පළාත් සභාව පසුගිය අගහරුවාදාත් තවත් ඇස්බැන්දුමක් වෙනුවෙන් වයඹ ජනතාව මිරිකා බදු වශයෙන් ලබාගෙන තිබූ සැලකිය යුතු මුදලකට තට්ටු කළේය. පළාත් සභාව විසින් එය නම් කර තිබුණේ ‘‘යහ ජීවනයේ වියන බදිමු. යහජීවනයෙන් සහජීවනයට – වයඹ පස් අවුරුදු සැලසුම්’’ලෙසය. මෙම උත්සවය සදහා වයඹ ප‍්‍රධාන ලේකම් ජයන්ත විජේරත්නගේ නිල මුද්‍රාවෙන් යුතු වෛවර්ණ ආරාධනා පත‍්‍රයක් මාධ්‍යවේදීන් වෙතද තැපෑලෙන් ලැබී තිබූ නමුත් සුපුරුදු ලෙසම කිසිදු මාධ්‍යවේදියෙකු උත්සවය පැවැති ඉසව්වේ පස් පාගන්නටවත් නොගියේය. පළාත් සභාව සහජීවනයේ වියන් බදින්නට කතා කරන්නේ මාධ්‍යවේදීන් දොට්ට දමලාදැයි විමසමින් එක් මාධ්‍යවේදියෙකු සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් පවා තබා තිබිණි. අදාළ උත්සවය වයඹ පළාත් සභාවේ වැඩක් වුවත් එය පැවැත්වුනේ කුරුණෑගල මහ නගර සභාවට අයත් වැව රවුම පරිශ‍්‍රයේදීය. පසුගිය සතියේ ජනපති කතාකරමින් සිටියදී පළාත් සභාවේ විදුලිය විසන්ධිවීමෙන් ඇති වූ අලංකලංචිය හේතුවෙන් වයඹ බලධාරීන් උත්සවය එළිමහනක පැවැත්වීමේ තීන්දුවකට එළැඹියා වන්නටත් බැරි නැත. පළාත් සභාවේ ‘‘යහ ජීවනයේ වියන් බැදිල්ල හේතුවෙන් නන්නත්තාර වී ගියේ එදින වැඩක් කරවාගන්නට පළාත් සභාවට පැමිණි අහිංසක ජනතාවය. මන්ද වයඹ පළාත් සභාවේ සියලු සේවක සේවිකාවන් මෙම උත්සවයට සහභාගිවීම පළාත් සභාවේ ලොකු ලොක්කන් විසින් නියම කර තිබීම හේතුවෙන් එදින පළාත් සභා සංකීර්ණය පැවැතියේ ජනශූන්‍ය ස්වභාවයකිනි. එදින පස්වරු එක පමණ වන විට වයඹ පළාත් සභා සංකීර්ණය තුළ පිහිටි අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සහ විවිධ ඒකක යටතේ සේවයේ නියුතු සේවක සේවිකාවන් සිය කාර්යාල මේසවලට සමුදී වැව රවුම දෙසට ගමන් කරමින් සිටියහ. පළාත් සභා සංකීර්ණයේ සිට වැව රවුම දක්වා සේවක සේවිකාවන් ප‍්‍රවාහනය කිරීම පළාත් සභාවේ වාහන පවා නිර්ලෝභීව යොදවා තිබිණි. වැවරවුමට නොයා පළාත් සභා සංකීර්ණය තුළ ඉතිරිව සිටියා නම් ඒ දෑතේ ඇගිලිවලටත් අඩු සේවක සේවිකාවන් ප‍්‍රමාණයකි. මේ නිසාම සිය ගැටලුවට විසදුමක් පතාගෙන අගහරුවාදා පස්වරුවේ පළාත් සභාව වෙත ආ බොහෝදෙනෙකුට හිස් අතින්ම ආපසු හැරී ගෙදර යන්නට සිදු වී තිබිණි.

පෝස්ටර්, කටවුට්, ආරාධනා පත‍්‍ර, පුවත්පත් දැන්වීම් පමණක් නොව උත්සව භූමිය කළ එළි කිරීම පිණිසද විශාල වියදමක් දරමින්, පෙර නොවූ විරූ කටයුත්තක ස්වභාවයෙන් වයඹ පළාත් සභාව විසින් යහජීවනයෙන් ‘සහජීවනයට – වයඹ පස් අවුරුදු සැලසුම’එළිදැක් වූ නමුත් එය වයඹ ජනතාව මුලාකරවන තවත් ඇස් බැන්දුමක් බවට මේ වන විටත් පත් වී හමාරය. ලියුම්කරුගේ මතකයේ හැටියට ගෙවී ගිය සිව් වසරක කාලය තුළදී එළි දැක් වුණු තුන් වැනි පස් අවුරුදු සංවර්ධන සැලසුම මෙයයි. ඉන් පළමු පස් අවුරුදු සැලසුම එළිදැක්වූයේ හිටපු ප‍්‍රධාන ඇමැති අතුල විජේසිංහය. වයඹ පළාතේ මහ ඇමැතිවරයා ලෙස දෙවැනි වරටත් රාජකාරි ආරම්භ කළ අතුල විජේසිංහ පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී රාජ්‍ය සේවකයින් අමතමින් කිව්වේ වයඹ සංවර්ධනය සදහා පස් අවුරුදු සැලසුමක් එළිදක්වන බවකි. කෙසේවෙතත් සංවර්ධන සැලසුම් තබා තමන්ගේ ධූර කාලයවත් සම්පූර්ණ කරගැනීමට අතුලට නොහැකි විය. අතුලගෙන් පසුව වයඹ මහඇමැති පුටුවේ ඉදගත්තේ දයාසිරි ජයසේකරය. දයාසිරිගේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ පවා වයඹට පස් අවුරුදු සැලැස්මක් ගැන සදහන් වී තිබූ අතර දයාසිරිද මහඇමැති පුටුවේ වාඩිවීමෙන් පසුව වයඹ සංවර්ධන පස් අවුරුදු සැලැස්මක් එළි දැක්වීය. පහක් ඉන්නට සැලසුම් කළ දයාසිරි අන්තිමේදී අවුරුදු දෙකක් සම්පූර්ණවෙද්දී නමුත් මහ ඇමැති තනතුරට ආයුබෝවන් කියා ආපසු දියවන්නාව තරණය කරන්නට යාමත් සමග දයාසිරිගේ පස් අවුරුදු සැලැස්මද කොට උඩ ගියේය. පස් අවුරුදු සැලසුම් සම්බන්ධයෙන් වයඹ පළාත් සභාවට ඇත්තේ එවන් වූ ඉතිහාසයකි. වත්මන් මහ ඇමැති ධර්මසිරි දසනායක යටතේ තවත් පසු අවුරුදු සැලැස්මක් එළිදකින්නේ හිටපු මහ ඇමැතිවරුන් දෙදෙනෙකු යටතේ සම්පූර්ණ නොවූ පස් අවුරුදු සැලසුම් දෙකක් හමස් පෙට්ටියේ දමා තිබියදීය. අනෙක් අතට හයවැනි වයඹ පළාත් සභාවට හිමි නිල කාලයෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් මේ වනවිට ගෙවී අවසන් වී ඇති කලෙක අගහරුවාදා එළිය දුටු පස් අවුරුදු සැලැස්ම නිසි පරිදි ක‍්‍රියාත්මක කෙරෙන බවට විශ්වාසයක් තැබිය හැකිද ? පළාත් සභාව අද වන විට පෙන්නුම් කරමින් සිටින අස්ථාවර තත්වය තුළ බොහෝ විට මෙම සැලසුමටද අත්වනු ඇත්තේද පෙර සැලසුම්වලට අත් වූ ඉරණමම වීමට බොහෝදුරට ඉඩ තිබේ. පස් අවුරුදු සැලැසුම් යනුවෙන් සුන්දර චචනවලින් හැඩ වැඩ කර ඇති නමුත් ඒ සැලසුමත් ජනතාව රවටන ඇස්බැන්දුමක් පමණක් බව මුලදීම ලියා ඇත්තේ එහෙයිනි.

විසිදෙනෙක් ඇවිත් හිටිය ටිකිරි බණ්ඩගේ ජනහමුව

වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා සහ මහ ඇමැති ධර්මසිරි පසුගිය සෙනසුරාදා දවස ගත කළේ පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාශයේ සවාරියක යෙදෙමිනි. සභාපති ටිකිරි බණ්ඩා විසින් කළ ඇරයුමකට අනුව මහ ඇමැති ධර්මසිරි පොල්ගහවෙලට ගොස් සිටි අතර දැයට කිරුළ ආදී පසුගිය රජයේ වැඩසටහන් හරහා ක‍්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන යෝජනා ක‍්‍රම ‘නිරීක්ෂණය’කරනු විනා වෙනත් කිසිදු වැදගත් කාර්යයකට මුල පිරීමක් මෙම සංචාරයේදී සිදු නොවීය. පොල්ගහවෙල ජනතාවගේ දැවෙන ගැටලුවක් ලෙසට සභාපති ටිකිරි බණ්ඩා විසින් හදුනාගෙන තිබූ පාරවල් කාගේ හෝ නමකින් නම් කර නොතිබීමේ අඩුපාඩුවට ධර්මසිරිගේ සංචාරයේදී පිළියම් ලැබිණි. පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාවේ වියදමින් වීරඹුගෙදර ප‍්‍රදේශයේ මාර්ග කිහිපයක සවිකර තිබූ නාම පුවරු විවෘත කිරීමද ඒ එදින මහ ඇමැති ධර්මසිරි අතින් සිදුවීම නිසාය. පයින් යා නොහැකි තරමට පාරවල් කැඩී බිදී අබලන් වී ගොස් ඇති නමුත් ඊට වඩා සුවිසල් ගැටලුවක්ව පැවැති පාරට නමක් නොතිබීමේ ගැටලුවට ටිකිරි බණ්ඩා සභාපති විසින් කඩිනම් පිළියමක් යෙදීම පිළිබදව වීරඹුගෙදර ජනතාව මේ වන විට අමන්දානන්දයට පත් වී සිටිති. පාරවල්වල බෝඩ් ලෑලි විවෘත කිරීම්, පසුගිය කාලයේ පටන්ගත් සංවර්ධන ව්‍යාපෘතිවල නිරීක්ෂණය කිරීම් ආදි මාධ්‍ය සංදර්ශනවලට මිස පොල්ගහවෙල ජනතාවගේ සැබෑ ගැටලු පිළිබදව මහඅමැති ධර්මසිරිගේ පොල්ගහවෙල සංචාරයේදී අවධානය යොමුනොවීම කණගාටුවට කරුණකි. වැඩ නිමවීමට ආසන්න පොල්ගහවෙල බස් නැවතුම්පොළ නිරීක්ෂණය කිරීමට වඩා ඊට නුදුරින් පිහිටි පොල්ගහවෙල දමිළ ප‍්‍රජාව වාසය කරන ලැයිමට පය ගැසුවා නම් මහ ඇමැති ධර්මසිරිට පොල්ගහවෙල ජනතාවගේ සැබෑ අවශ්‍යතාවයන් මෙන්ම ටිකිරි බණ්ඩලා විසින් පසුගිය කාලය පුරා පොල්ගහවෙලට කිරි ඉතිරවා ඇති අයුරුද සියැසින්ම දැක බලා ගැනීමට තිබිණි. එමෙන්ම ගොඩවෙල ගම්මානය පැත්තට ගොඩවුනා නම් සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකරන බව කියමින් ටිකිරි බණ්ඩලා විසින් කෙතරම් ධනස්කන්දයක් නිකරුණේ නැති නාස්ති කර ඇතිදැයි ලුණු ඇඹුල් ඇතිවම ඒ පැත්තේ ජනතාවගේ කටින්ම අසා දැනගැනීමට තිබිණි. රාමුවෙන් පිට පනින්නට කවදත් අකැමැති මහඇමැති ධර්මසිරිටද ඒ සදහා උනන්දුවක් හෝ උවමනාවක් නොතිබුණු අතර එක්ක යන තැනට ගොස් ආ කාරිය පමණක් ඉටුකිරීමට ධර්මසිරි විසින් වගබලාගෙන තිබිණි. ටිකිරි බණ්ඩා පස්සේ වැටීගෙන ගිය මහ ඇමැති ධර්මසිරිද ඒ නිසාම සිය සායමද එක් අවස්ථාවකදී යවාගත්තේය. මේ සංචාරය අතරතුරදී වීරඹුගෙදර, හැවැන්ගෙදර ප‍්‍රදේශයේදී ජන හමුවක් සංවිධානය කර තිබුණේ ටිකිරි බණ්ඩාගේ ආධාරකරුවෙකුගේ නිවසකය. ටිකිරි බණ්ඩාට ප‍්‍රදේශයේ ජනතාවගේ ඇති ආදරය සහ පිළිගැනීම කොතෙක්ද යන්න එම ජනහමුවෙන් කදිමට දැකගත හැකි වූයේ ඊට සහභාගි වී සිටියේ විසි දෙනෙකුටත් අඩු පිරිසක් වූ බැවිනි. ඛේදවාචකය වූයේ එම විසි ගණනින් වැඩි බහුතරයක් පාසල් යන වයසේ දරුවන් වීමය. හයක් හතරක් නොතේරෙන දරුවන් දේශපාලනය කතාකරන තැනක පවා රදවා නොගැනීම දැන උගත් වැඩිහිටියන්ගේ සිරිතක් වන නමුත් ටිකිරි බණ්ඩා මෙන්ම මහ ඇමැති ධර්මසිරිත් රටේ තොටේ දේශපාලනය ගැන කතා දෙකක්ම පැවැත්වූයේ කටේ කිරි සුවදවත් නොගිය දරුවන් ගණනාවක් තමන් ඉදිරිපිට තබාගෙනය. තමන්ගේ වැඩේ වෙනවා නම් දරුවන් හෝ ඒ වෙනුවෙන් යොදාගන්නා ටිකිරි බණ්ඩලාගේ බංකොළොත් දේශපාලන මල්වටිටියට පැත්තක සිටි මහ ඇමැති ධර්මසිරිද අකාලයේ අතගැසුවේ එලෙසිනි.

alu_yata_gini_april_7_3 alu_yata_gini_april_7_2 alu_yata_gini_april_7_1 alu_yata_gini_april_7_4 alu_yata_gini_april_7_5

කරු සද්ද නොකරම කුරුණෑගල ඇවිත් ගිහින්.

කථානායක කරු ජයසූරිය පසුගිය ඉරිදා වැඩි සද්ද බද්දයක් නැතිවම කුරුණෑගල ඇවිත් ගොස් තිබිණි. කරුගේ ගමන කෙතරම් නිසොල්මනේ සිදු වී තිබුණාදැයි කිවහොත් ඒ පිළිබද මාධ්‍යවේදීන් පවා දැනුවත් වී නොසිටියහ. කරු හදිසියේ කුරුණෑගලට පැමිණ තිබුණේ සුප‍්‍රකට රම්බඩගල්ල සෙල් පිළිමය ආශ‍්‍රිතව ඉදිකළ නව අංගයක් විවෘත කිරීම සදහාය. ආරම්භයේ සිටම සෙල් පිළිම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ඉන්නේ කරු ජයසූරිය වන අතර පිළිම වහන්සේ ඉදිරිපිට අලුතින් නෙලන ලද ශෛලමය පුන් කලස් දෙක විවෘත කිරීම එදින කරුගේ අතින් සිදුකෙරිණි. නුවර සිට කුරුණෑගල බලා එන අතරතුරේදී මිල්ලව පිහිටි අලවතුවලගේ නිවසට ගොඩවීමටද කරු අමතක නොකළේය. ඉදිරි දිනවලදී පාර්ලිමේන්තුවේදී රැස්වන ව්‍යවස්ථා සභාව ගැන කරු අලවතුවල සමග සංවාදයකට වැටුණේ අලවතුවල නිවසින් ලැබුණු උණුසුම් තේ කෝප්පයක් රස විදින අතරතුරේදීය. ‘‘කොහොමත් ඉදිරි සති කිහිපය පුරාම මට පාර්ලිමේන්තුවෙන් එළියට යන්න ලැබෙන එකක් නැහැ. ඒ නිසයි මම හාමුදුරුවන්ටත් කතා කරලා අදම මෙහේ ඇවිත් යන්න ආවේ. ’’කරු කීය. තේ කෝප්පය බී අවසන් කළ කරු අලවතුවලද තම වාහනයට නංවා ගනිමින් රම්බඩගල්ල බලා පිටත් විය. මොණරාගල පිරිවෙන් බිමට ගිය කරු සහ අලවතුවල එගොඩමුල්ලේ අමරමෝලි නා හිමියන්ද බැහැ දැක උන්වහන්සේද කැටුව ගොස් ශෛලමය පුන්කලස් දෙක විවෘත කළහ.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 අපේ‍්‍රල් 07 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article