spot_img
spot_img
Thursday, November 26, 2026
spot_img
spot_img

ආරච්චිකට්ටුව – කරුක්කුලිය ගම්වලට අලි කඩා වදියි

Must read

රාත්‍රී කාලයේ නිරන්තර තම ගම්මානයට කඩා වදින දළ ඇතෙක් ඇතුළු වන අලි රංචුවක් වගා පාළු කරමින් මිනිස් ජීවිත වලට තර්ජනය කරමින් සිටින බව ආරච්චිකට්ටුව – කරුක්කුලිය ගම්වාසීන් කියා සිටි.

වසර 03 ක පමණ කාලයක් පවතින මෙම වන අලි ගැටළුවට මෙතෙක් විසදුමක් නොමැති කම නිසා රාත්‍රී කාලයේ දැඩි ජීවිත අවදානමකින් කාලය ගත කරන්නට තමන්ට සිදුවී ඇති බවද ඔවුන් කියා සිටී.

හලාවත නගරයට කිලෝ මීටර් 06 ක් පමණ දුරින් කරුක්කුලිය ගම්මාන පිහිටා ඇත.එමෙන්ම කොළඹ – යාපනය මාර්ගයද ඇත්තේ කරුක්කුලිය ගම්මානය හරහාය.

‍ගෙවී ගිය කාලය තුළ මෙම දළ ඇතා සහ වන අලි රංචුව කරුක්කුලිය ගම්මානයට විශාල හානියක් සිදු කර ඇති බවක් දක්නට ඇත.පළදාව හට ගන්නා පොල් ගස් විශාල ප්‍රමාණයක්ද,කෙසෙල් ඇතුළු වගාවන් බොහෝමයක්ද මෙම වන අලි රංචුවේ ඉලක්ක බවට පත්ව ඇත.පසුගිය දිනක කඩා වැදුණු දළ ඇතා විසින් පොල් ගසක් විදුලිය රැහැන් පද්ධිතයක් මතට පෙරළා තිබීම හේතුවෙන් එම ගම්මානයේ පදිංචිකරුවන්ට විදුලිය විසන්ධිවීම නිසා අදුරේ රැය පහන් කිරීමටද සිදුවී ඇත.එමෙන්ම රාත්‍රී කාලයේ සේවා මුර අවසන් වී නිවෙස් බලා එන ගම්වැසියන් පසු පස එළවා යන මෙම වන අලින් ජීවිත තර්ජන කරන්නටද පටන් ගෙන ඇති බවක් ඔවුන් කියා සිටී.එක් ගම්වැසියෙකු පසුපස එළවා ගෙන පැමිණි වන ඇතා ඔහු පදවා ගෙන ගිය යතුරු පැදියටද පහර දී අලාභ හානි සිදු කර ඇත.

සිදුවී ඇති විනාශය පිළිබද තොරතුරු සොයා බලන්නට ගිය අපට දක්නට ලැබුනේ දැවැන්ත විනාශයකි.වන අලින්ගේ ග්‍රහනයට ලක් නොවු එක ඉඩමක් හෝ සොයා ගන්නට කරුක්කුලිය ගම්මානය තුල නොමැති තරම්ය.ඒ තරමටම වන අලින් කරුක්කුලිය ගම්මානයේ වගාවන්ට හානි සිදු කර ඇති බවක් දක්නට ඇත.

කරුක්කුලිය ගම්මානයේ පදිංචිකරුවෙකු වන අජිත් රංජන් මහතා මෙසේ කියා සිටියේය.

“මම ඉපදුනේ පුත්තලමේ – කරුවලගස්වැව කියන ප්‍රදේශයේ.ඒ පැත්තෙත් වන අලි කරදර තියනවා.නමුත් මේ තරම් වන අලින්ගෙන් ඒ අයට කරදරයක් නෑ. දැන් අවුරුදු 03 ක් විතර වෙනවා මේ දළ ඇතා සහ වන අලින් අපේ ගමට කඩා වදින්න පටන් අරගෙන.අපි මේ ගැන දන්න කියන අයට කිව්වා.ඊට පස්සේ වන ජීවී නිලධාරීන් ඇවිත් ගමේ පන්සලේ නවාතැන් ගෙන ඉදලා අලි පන්නන් ගත්තා.දින කීපයකින් පස්සේ නිලධාරීන් ගියා.වන අලින් ආපසු ගමට ආවා. අපිට නොතේරෙන කරුණ වෙලා තියෙන්නේ ඇයි ගම් වදින වන අලින් කැලේට පන්නලා දාන්න සාර්ථක වැඩ පිළිවෙලක් හදන්න වන ජීවී නිලධාරීන්ට බැරි කියන එකයි.

මේ වෙන කොට ගමේ කිසිම කෙනෙක් රාත්‍රී කාලයේ කුමන හේතුවක් නිසා හෝ ගෙවල් වලින් එළියට බහින්නේ නෑ.මොකද ඇතා වගේම අනෙක් වන අලි කොතැන ඉන්නවාද කියන්න දන්නේ නැති නිසා.හෙට අනිද්දා වෙන කොට වන අලි පහර දීලා ගමේ එක් කෙනෙක් දෙන්නෙක් මැරෙනවා.එතකල්ද බලා ගෙන ඉන්නේ කියලා තමයි මට අහන්න තියෙන්නේ.’

කරුක්කුලිය ගම්මානයේ පදිංචි වයෝවෘද්ධ වැසියෙකු වන විජේරත්න මහතා මෙසේ කියා සිටියේය.

‘එක දවසක් රාත්‍රීයේ පුතා වැඩ ඇරිලා යතුරු පැදියෙන් ගෙදර එන කොට ඇතා එළවා ගෙන ඇවිත් තිබුණා.පුතා යතුරු පැදිය දාලා ඇවිත් ගෙට රිංගා ගත්තා. යතුරු පැදිය පාගලා විනාශ කරපු ඇතා ගේ ඇතුළට රිංගන්න උත්සාහ කලා. නමුත් ඇතා උස නිසා ගේ ඇතුළට ඇතුළු වෙන්න බැරිව ගියා.ඊට පස්සේ පාන්දර 03 විතර වෙන තුරු ඇතා අපේ ගේ වටේ ඇවිදිමින් සිටියා.අපි ජීවිත ආරක්ෂා කර ගන්න ඕනේ නිසා ගේ ඇතුළට වෙලා එළිය වැටෙන තුරු බියෙන් තමයි හිටියේ.’

නාලනී ප්‍රේමලතා මහත්මියද අපට හමු විය.ඇය මෙසේ කියා සිටියාය.

“මගේ වත්තේ තිබුණු පොල් ගස් සියල්ලම දැන් වන අලින් පැනලා කාලා විනාශ කරලා තියෙන්නේ.වත්තේ ආරක්ෂාවට රුපියල් ලක්ෂ 1 ½ ක් පමණ වියදම් කරලා වැටක් ගැහුවා.දැන් ඒ වැටේ එක කොන්ක්‍රීට් කණුවක්වත් නෑ. සියල්ලම වන අලින් කඩලා විනාශ කරලා තියෙන්නේ.අපිට දැන් ජීවත් වෙනවා කියන එක ගැටළුවක්.මේ ගම්මානයේ පොඩි දරුවෝ වයසක අය ඉන්නවා.එහෙම කෙනෙකුට රාත්‍රී කාලයේ හදිසියේ රෝගයක් ඇති වුනොත් රෝහලකටවත් අරගෙන යන්න බෑ.මොකද වන අලි කොතැන ඉන්නවාද දන්නේ නැති නිසා.”

මේ ආකාරයට අපට මුණ ගැසුණු සියළුම දෙනා කියා සිටියේ ගම වදින ඇතා සහ වන අලින් විසින් සිදු කරන විනාශයයි.වසර 03 ක පමණ කාලයක් නගරය ආසන්නයටම ඇවිත් සිටින මේ වන අලි රංචු වනාන්තරයකට පලවා හරින්නට වගකිව යුත්තන් මෙතෙක් කටයුත් නොකරන්නේ කුමන හේතුවක් නිසාද යන්න නම් සත්‍ය ලෙසම ගැටළුවකි.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article