spot_img
spot_img
Thursday, November 26, 2026
spot_img
spot_img

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලුවට තිරසාර විසඳුම් සොයා නවදිල්ලියේදී ද්විපාර්ශ්වික සාකච්ඡා!…

Must read

දීර්ඝ කාලයක සිට පවතින ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලුවට ප්‍රායෝගික හා තිරසාර විසඳුමක් ලබා ගැනීමේ අරමුණින් ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් 2027 ජනවාරි 22 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කළේය.

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර කටයුතු පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ රැස්වීමක් ලෙස පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී දෙරට අතර ධීවර ක්ෂේත්‍රයේ ප්‍රධාන ගැටලු පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කෙරේ. විශේෂයෙන්ම තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කිරීම සහ තහනම් බොටම් ට්‍රෝලිං (Bottom Trawling) ධීවර ක්‍රමය භාවිත කිරීම හේතුවෙන් මෙරට ධීවර ජනතාවගේ ජීවනෝපායට හා සාගර සම්පත්වලට සිදුවන හානිය වැළැක්වීම සඳහා ගත යුතු ස්ථිර ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡා සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA), ජාතික ජලජ ජීවි වගා සංවර්ධන අධිකාරීය, නීතිපති දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයෝ ඇතුළත් වෙති.

දෙරට අතර මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලාංකික ධීවර ජනතාවගේ ජීවනෝපාය හා මෙරට සාගර සම්පත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් සියලු පාර්ශ්ව සමඟ ඵලදායී සාකච්ඡා පවත්වා සාධාරණ හා තිරසාර විසඳුමක් ලබා දීමට රජය අඛණ්ඩව කැපවී සිටී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article