දංකොටුව නගරයේ පදික වේදිකාවන් තුළ තබා තිබූ වෙළඳ ප්‍රචාරක පුවරු සහ පවත්වා ගෙන ගිය තාවකාලික ව්‍යාපාරික කුටි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇති විය. ඉකුත් 15 වැනිදා දංකොටුව පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන්ගේද සහාය ඇතිව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් මෙම ඉවත් කිරීම් සිදු කරන ලදි.
පදික වේදිකාව අවහිර වන ආකාරයට වෙළද ප්‍රචාරක පුවරු ස්ථාපනය කර තිබීම සහ තාවකාලික ව්‍යාපාරික කුටි පවත්වා ගෙන යාම හේතුවෙන් මහජනතාවට පා ගමනින් ගමන් කිරීමට නොහැකි බව දංකොටුව පොලීසියේ රථ වාහන අංශය විසින් හදුනා ගෙන ඇත.මෙම හේතුව නිසා නගරය තුළ නිතර හදිසි අනතුරු සිදුවන බවද පොලීසිය විසින් අදාල බලධාරීන්ට දැණුම් දීමට කටයුතු කර ඇත.
ඒ අනුව හදුනා ගත් පදික වේදිකාව තුළ පවත්වා ගෙන ගිය වෙළද කුටි ඉවත් කර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඒවා පවත්වා ගෙන ගිය අයට දැණුම් දීමට කටයුතු කර ඇත.නමුත් එම නිවේදන නොතකමින් තව දුරටත් පවත්වා ගෙන ගිය ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කටයුතු කරන ලදි. එම අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති වුවත්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් තත්ත්වය පහදා දී ගැටළුව සමථයකට පත් කර ගැනීමට කටයුතු කරන ලදි.
ජුඩ් සමන්ත







