Monday, May 6, 2024

දේශපාලනඥයෙකුගේ නම කියා පොල් හොරෙක් පොලිසියට තර්ජනය කරලා !

Must read

giriulla_police_trhedපොල් සොරකමක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාගවෙමින් පවතින නඩුවක් ඉල්ලා අස්කරගන්නා ලෙසට එක්තරා දේශපාලනඥයෙකුගේ නමක් සදහන් කරමින් පොලිසියට දුරකථනයෙන් තර්ජනය කළේයැයි කියන අයෙකු ලබන 11 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කළේය.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතකෙරුණේ ගිරිඋල්ල, දඹදෙණිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොල් වත්තක සිදු වූ සොරකමක් සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය විසින් මින් පෙර අවස්ථාවක අත්අඩංගුවට ගෙන තිබූ මෙම පුද්ගලයා එම සොරකමට අදාළව වරද පිළිගැනීමට දැක්වූ එකගතාවය මත අධිකරණය මගින් ඇප මත නිදහස් කර සිටි බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කීය. එසේ තිබියදී දින කිහිපයකට පසුව ගිරිඋල්ල පොලිසියට දුරකථනයෙන් ඇමැතූ සැකකරු තමන්ට එරෙහිව පවරා ඇති නඩුව ඉල්ලා අස්කර නොගතහොත් ස්ථාන මාරුකර යවන බව පවසමින් එක්තරා දේශපාලනඥයෙකුගේ නමක් සදහන් කර පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බවද පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කී

අදාල තර්ජනය කිරීම සදහා යොදාගත් දුරකථන අංකය අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අවස්ථාවේදී එම දුරකථන අංකය තමන්ගේ බවට සැකකරු විසින් පිළිගනු ලැබීමද විශේෂත්වයකි.

ගිරිඋල්ල පොලිසියේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ප‍්‍රසාද් මදනායක සහ උප පොලිස් පරීක්‍ෂක ගුණවර්ධන යන නිලධාරීහු මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ දහම් රාජපක්‍ෂ මහතා සැකකරු වෙනුවෙන් පෙනීසිටියේය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර  

(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති ඉහත ඡායාරූපය මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article