Sunday, May 19, 2024

පරිසරයට, ජන ජීවිතයට වින කළ නාරම්මල ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවකට තිත.

Must read

narammala_-factoryනීත්‍යානුකූල බලපත‍්‍රයක් නොමැතිව , අවට පරිසරයට සහ ජන ජීවිතයට අහිතකර අන්දමින් පවත්වාගෙන ගිය ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වසාදමන ලෙසට නියෝග කළ නාරම්මල මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා එම කර්මාන්තශාලාවේ හිමිකරුට රුපියල් දෙදහස් පන්සියක දඩ මුදලක් ගෙවන ලෙසටද නියෝග කළේය.

මෙලෙස වසාදැමීමේ නියෝග සහ දඩ මුදල් නියම කෙරුණේ නාරම්මල, කඩහපොළ ප‍්‍රදේශයේ ප‍්‍රදේශයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගිය එම්. ආර්. අෂ්රෆ්කාන් නැමැති අයෙකුටය.

පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ කරුණු දැක් වූ නාරම්මල මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික‍්‍රම මහතා, ඉවතලන ප්ලාස්ටික් එකතු කර කුඩුකිරීමේ ව්‍යාපාරයක් මෙම කර්මාන්ත ශාලාව තුළ පවත්වාගෙන යමින් තිබූ බව පැවසීය. මෙම කර්මාන්ත ශාලාවෙන් නිකුත් කෙරෙන අපද්‍රව්‍යවලින් තමන්ට පීඩා සිදුවන බවට අවට ප‍්‍රදේශවාසීන්ගෙන් ලැබී තිබූ පැමිණිලි හේතුවෙන් මෙම ස්ථානය වැටලීමට ලක් කළ බවත්, වැටලීම සිදුකරන අවස්ථාව වන විට එම කර්මාන්ත ශාලාව වෙනුවෙන් ලබාගෙන තිබූ පරිසර ආරක්ෂණ බලපත‍්‍රයක්, වෙළද බලපත‍්‍රයක් හෝ වෙනත් කිසිදු බලපත‍්‍රයක් ඉදිරිපත් කිරීමට එහි හිමිකරු අසමත් වූ බවද පැවසීය. පැරණි ප්ලාස්ටික් කුඩු කිරීමේදී නිකුත්වන දුමාරයක් අවට පරිසරය පුරා පැතිරී තිබූ ආකාරයත්, කර්මාන්ත ශාලාව තුළ සේවය කළ කිසිදු සේවකයෙකු විසින් ආරක්ෂක පිළිවෙත් අනුගමනය කර නොතිබූ බවත් අදාල වැටලීමේදී ආනාවරණය කර ගත හැකි වූ බවද හෙතෙම පැවසීය. පිළිකා කාරකයක් වන ප්ලාස්ටික් කුඩු ආඝ‍්‍රාහණය කිරීමෙන් කර්මාන්තශාලාවේ සේවකයින් මෙන්ම ඒ අවට ජනතාවද විවිධ ලෙඩ රෝගවලට ලක්වීමේ අවදානමක් මතු වී තිබූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය. කුඩුකිරීම සදහා ගෙන එන ඉවතලන ප්ලාස්ටික් කැබලි කර්මාන්ත ශාලා භූමියේ තැන තැන ගොඩගසා තිබීම හේතුවෙන් ඒවාට ජලය එකතු වී මදුරුවන් බෝවීමේ අවදානමක් මතු වී තිබූ බවත්, කුඩුකිරීමෙන් පසු ඉතිරිවන ප්ලාස්ටික් කැබලි විවෘත පරිසරයට මුදා හැර ගිනි තැබීම නිසා නිකුත්වන දුමාරයෙන් වායු දූෂණයක් සිදු වී තිබූ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නියම කරනු ලබන ප‍්‍රමිතීන්ට අනුකූලව අදාළ කර්මාන්තශාලාව සෞඛ්‍යාරක්ෂිත ලෙස සකස්කරන ලෙසට නියෝග කරමින් නාරම්මල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් මීට පෙර ලබා දී තිබූ මාසයක කාල සීමාව තුළදී විත්තිකාර ව්‍යාපාරිකයා විසින් ඒ සදහා කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම පිළිබදවද සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා එම කර්මාන්ත ශාලාව වසාදැමීමේ නියෝග නිකුත් කළේය.

නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වයි. එන්. හේමසිරි මහත්මියගේ උපදෙස් මත, නාරම්මල මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික‍්‍රම මහතා විසින් විත්තිකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article