Sunday, May 19, 2024

රෙන්ට් එකට ගත් සැප වෑන්වලින් හරක් හොරකමේ ගිය කල්ලියක් මාට්ටු !

Must read

kuliyapitiya-harak-horuකුලී පදනම මත ලබාගන්නා සුඛෝපභෝගී වාහන යොදාගනිමින් ගව සොරකමේ යෙදුණු බව කියන සොර කල්ලියක්, සුඛෝපභෝගී වෑන් රථයක්ද සමග කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (01 ) අත්අඩංගුවට ගනු ලැබීය.

මහනුවර ප‍්‍රදේශයේ ආයතනයකින් කුලී පදනම යටතේ ලබාගන්නා සුඛෝපභෝගී වෑන් රථවලින් දිවයිනේ විවිධ පළාත්වල සංචාරය කර ඇති මෙම පිරිස දිගේලි කර සිටින ගවයින් සහ එඵවන් එම වෑන් රථවලට නංවාගෙන ගොස් මාතලේ යටවත්ත ප‍්‍රදේශයේ පිහිටි මස් කඩයකට විකුණා ඇති බව මූලික පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

මෙම කල්ලිය විසින් සොරකම් කරන ලද ගවයින් 12ක් සහ එඵවන් 20 කට වැඩි ප්‍රමාණයක් පිළිබදව තොරතුරු අනාවරණය වී ඇති බවත්, නිදැල්ලේ ගැවසෙමින් සිටි ගවයින්ද මෙම කල්ලිය විසින් සොරකම් කර ඇති බැවින් සොරා ගත් සත්වයින් ප්‍රමාණය ඊට වඩා වැඩිවිය හැකි බව පොලිසිය කියයි. දැනට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව මෙම හොර කල්ලිය සදහා වාහන සපයාගැනීමට සහය දුන් තැරැව්කරුවන් පිරිසක්ද අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යටවත්ත, මාතලේ සහ තෙලියගොන්න යන ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25 ත් 36 ත් අතර පසුවන පිරිසක් වන අතර, සොරකම් කර ගෙනෙන ගවයින් මිලදී ගන්නා මස් වෙළෙන්දෙකුද ඒ අතර වන බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සුඛෝපභෝගී වෑන් රථය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය සහ සහකාර පොලිස් අධිකාරී ජාලිය හීන්කෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත, කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කමල් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්‍ෂක වික‍්‍රමනායක, පොලිස් සැරයන් සෙනවිරත්න(33604), පියරත්න (20626) , කාන්තා පොලිස් සැරයන් කස්තුරි, පොලිස් කොස්තාපල් කරුණාරත්න(32644) , වීරසේකර (35826) , කරුණාතිලක (37525), ආනන්ද (49077), මහින්ද (53310), ප‍්‍රියදර්ශන (53311) , ප‍්‍රියශාන්ත (36230) , රොහාන් (57893) , කාන්තා පොලිස් කොස්තාපල් වික‍්‍රමසිංහ (3086 ) සහ පොලිස් කොස්තාපල් රියදුරු අනුර (2007) යන නිලධාරීහු සොර කල්ලිය අත්අඩංගුවට ගත්හ.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article