Friday, May 3, 2024

වයඹ අඵ යට ගිනි – (වීඩියෝ සහිතයි )

Must read

ayg_2016_10_20alg_july_7_4

ගොවි සම්මාන වේදිකාවේ උපන්දින කේක් කැපෙයි.

ශ‍්‍රීලනිප මහලේකම්, ඇමැති දුමින්ද දිසානායකට පසුගිය සතියේදී දෙවරක්ම කුරුණෑගලට පැමිණීමට සිදු විය. ඒ දුමින්දගේ සහභාගිත්වය ඇතිව සංවිධානය වී තිබූ උත්සව දෙකක් පසුගිය බදාදා සහ සෙනසුරාදා යන දින දෙකෙහිදීම කුරුණෑගල ආශ‍්‍රිතව සංවිධානය වී තිබීම හේතුවෙනි. ඉන් පළමු උත්සවය වූ ඉසුරු දිරිය ගොවි සම්මාන ප‍්‍රදානෝත්සවය ඉකුත් බදාදා පැවැත්වුණේ වයඹ පළාත් ශ‍්‍රවණාගාරයේදීය. එතැනට ගොඩවෙන්නට පෙර ඇමැති දුමින්ද තවත් තැනකට ගොඩවැදී තිබිණි. ඒ වදුරාගල පිහිටි හිටපු ඇමැති ජයරත්න හේරත්ගේ නිවසටය. කොළඹින් උදෑසනින්ම පිටත් වී තිබූ දුමින්ද වෙනුවෙන් ජයරත්න හේරත්ගේ නිවසේදී උදෑසන පාතරාසය සූදානම් වී තිබිණි. ජයරත්න හේරත් සහ මන්ත‍්‍රී පියුමාල් හේරත් සමග කෑම මේසයට වාඩි වූ දුමින්ද කිරිබත්, ආප්ප වැනි දේශීය ආහාර වර්ගවලින් යුත් උදේ ආහාර වේල සරිකරගත්තේය. කෑම මේසයේදී දේශපාලනය පිළිබදව කතාකිරීමට වඩා වැඩි ඉඩකඩක් ලැබුණේ අතීත සම්බන්ධකම් සිහිපත් කරන්නටය. ජයරත්න හේරත් දේශපාලනයට එන්නට පෙර මහවැලියට සම්බන්ධ වී උතුරුමැද පළාතේ රාජකාරි කළ අන්දමත්, ඒ හරහා බර්ටි දිසානායක සමග සම්බන්ධකම් ගොඩනැගුණු ආකාරයත් කෑම මේසයේදී යළි ආවර්ජනය විය. අතීත මතක සැමැරුම් අවසානයේ අතුරුපසට පළතුරු කැබැල්ලකුත් සැපූ දුමින්ද, ජයරත්න හේරත් සහ පියුමාල් හේරත් සමග කෙලින්ම ආවේ කුරුණෑගල කච්චේරියටය. එහි පැවැති ගොවි විශ‍්‍රාම වැටුප් සහ වගා හානි වන්දි වෙනුවෙන් චෙක්පත් බෙදාදීමේ උත්සවය අවසන් කළ දුමින්ද ඒ වන විට පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී ආරම්භ වී තිබූ ගොවි සම්මාන ප‍්‍රදානෝත්සවයට එක් විය. පළාත් සභා දොරටුව අසලදී වයඹ පළාත් කෘෂිකර්ම ඇමැති සුමල් තිසේරා විසින් පිරිනැමූ බුලත් හුරුල්ල පිළිගන්නා අතරේම ‘‘සුබ උපන්දිනයක් වේවා සුමල් ’’යැයි කී දුමින්ද සුමල්ගේ උරහිසෙහි අත රැදවීය. එදිනට ඇමැති සුමල්ගේ උපන් දිනය යෙදී ඇති බව එතැන සිටි බොහෝදෙනෙකු දැනගත්තේද දුමින්දගේ සුබ පැතීමත් සමගය. ඉසුරු දිරිය ගොවි සම්මාන ප‍්‍රදානෝත්සවය ඇමැති සුමල්ගේ උපන් දිනය දවසේම යොදාගන්නට අමාත්‍යංශ බලධාරින් විසින් දැන හෝ නොදැන කටයුතු කර තිබිණි. සම්මාන ප‍්‍රදානෝත්සවය ඇමැතීමෙන් පසුව ගොවීන් වෙත සම්මාන පිරිනමන්නට සූදානම් වූ ඇමැති දුමින්දට ඊට පෙර උපන්දින කේක් කැපිල්ලකටද වේදිකාව මතදීම එක්වන්නට සිදු විය. සභාව මෙහෙය වූ නිවේදක තැන විසින් සුමල්ගේ උපන්දිනය පිළිබද සභාවට දැනුම්දෙන අතරේ කුඩා මේසයක් මත තැබුණු උපන්දින කේක් ගෙඩියක් වේදිකාව මැද තැන්පත් කෙරිණි. සම්මාන ප‍්‍රදානය සදහා වේදිකාවට ගොඩ වී සිටි ඇමැති දුමින්ද, මහ ඇමැති ධර්මසිරි, ජයරත්න හේරත්, ලක්ෂ්මන් වේඩරුව ඇතුඵ මැති ඇමැතිවරුන් ‘‘හැපි බර්ත් ඩේ ටූ යූ ’’යැයි කියද්දී ඇමැති සුමල් කේක් ගෙඩිය කැපුවේය. පසුව ඇමැති දුමින්දගේ අතින්ම උපන්දින කේක් කැබැල්ලක රස වි`දීමට ඇමැති සුමල්ට අවස්ථාව උදා විය. ගොවීන් සදහා සම්මාන ප‍්‍රදානය කිරීම ඇරඹුණේ මේ උපන්දින සැමැරුමෙන් පසුවය. ශ‍්‍රීලනිප මහලේකම් දුමින්ද සමග එක්ව කළ ඇමැති සුමල්ගේ කේක් කැපිල්ල වයඹ දේශපාලනය තුළ යම් කසුකුසුවක් මවන්නටද මේ වනවිට සමත් වී නැතුවා නොවේ. කලක් මහින්ද හිතවාදියෙකු ලෙස සැලකුණු සුමල් ඇමැති දුමින්ද සමග කේක් කපා සංඛේතවත් කළේ මහින්ද පිළෙන් නික්මීයාමදැයි තැන තැන ඇසෙන එවැනි කසුකුසුවලින් කියැවෙමින් තිබේ.

ඇමැති දුමින්ද දෙවැනිවරට කුරුණෑගල ආවේ යාපහුව යාපහුව රජමහා විහාරයේ වාර්ෂික දළදා පෙරහරට සහභාගිවීමටය. පසුගිය සෙනසුරාදා පැවැති මෙම පෙරහැර එක් අතකින් පක්ෂ විපක්ෂ මතධාරින් මෙන්ම පැරණි මිතුරන්ද නැවත එක් කළ අවස්ථාවක් විය. ඇමැති දුමින්දට අමතරව ඇමැති එස්. බී. නාවින්න, ටී. බී. ඒකනායක, වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක මෙන්ම යාපහුව එජාප සංවිධායිකා අචිනි ලොකු බණ්ඩාද පෙරහැරේ ආරාධිතයින් ලෙස සහභාගි වී සිටියහ. ආරාධිතයින්ගේ අතින් සධාතුක කරඩුව තැන්පත් කර පුෂ්පෝපහාර පිදීමෙන් අනතුරුව පෙරහැර ආරම්භ විය. අචිනි විසින් කළ ඉල්ලීමකට අනුව යාපහුව දළදා පෙරහර ගමන් මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීම සදහා රුපියල් කෝටි 3 ක මුදලක් වයඹ සංවර්ධන අමාත්‍යාංශය හරහා ලබාදෙන්නට ඇමැති නාවින්න මෙහිදී යාපහු විහාරාධිපති හිමියන්ට පොරොන්දු වූ අතර විහාරාධිපති හිමියන්ගෙන් කෙරුණු ඉල්ලීමකට අනුව යාපහුව රජමහා විහාරයට ඇත් පැටවෙකු ලබාදීමට මැදිහත් වන බවටද ආරාධිත මැති ඇමැතිවරුන් උන්වහන්සේට සහතික වූහ.

මහින්ද ගමෙන් වැඩ පටන් ගනී.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කලකට පසුව කුරුණෑගල පැමිණ තිබුණේ පසුගිය බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේදීය. මහින්ද කුරුණෑගල ඇවිත් තිබුණේ නිකම් ඇවිත් යන්නට නොව ඊට පසුදින සූදානම් වී තිබූ තීරණාත්මක කටයුත්තක් වෙනුවෙනි. සිකුරාදාට එළිය වැටී දෙතුන් පැයක් ගතවනවිට කුරුණෑගල වැව රවුමේ පිහිටි මහින්දගේ නවාතැනේදී ඔහු පැමිණ තිබූ කාර්යය ආරම්භ විය. මහින්දට අමතරව බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සාලින්ද දිසානායක සහ ෂෙහාන් සේමසිංහද එහි වූහ. මහින්දට සහය දක්වන පළාත් සභා සහ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් මෙන්ම ඉදිරි මැතිවරණවලදී මහින්ද පිලෙන් තරග කිරීමේ අපේක්ෂාවෙන් පසුවන පිරිසකුත් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 13 ක් නියෝජනය වන අයුරින් එදින මහින්දගේ නවාතැන වෙත කැදවා තිබිණි. පඩුවස්නුවර ආසනයේ මන්ත‍්‍රීවරුන් මෙම හමුවෙන් නිදහස් කර තිබුණේ එදින පඩුවස්නුවර සමූපකාර නිලවරණය පැවැත්වීම නිසාය. වරකට මැතිවරණ කොට්ඨාශ තුන හතරක් නියෝජනය වන අයුරින් මන්ත‍්‍රීවරුන් සාකච්ඡාවට කැදවිණි. මහින්ද, බැසිල්, ජොන්ස්ටන් සහ සාලින්ද මුලසුන් මේසයේ අසුන්ගෙන සිටි අතර මන්ත‍්‍රීවරුන් අමතමින් බැසිල් මන්ත‍්‍රීවරුන් කැදවීමේ අරමුණ පැහැදිලි කළේය. එම හමුවේ අරමුණ වී තිබුණේ ඉදිරියේදී බිහිකරන බව කියන නව පක්ෂයේ බිම් මට්ටමේ අඩිතාලම සකස්කිරීමය. ඒ අනුව ඡන්ද කොට්ඨාශ මුල්කරගනිමින් ග‍්‍රාමීය කමිටු පිහිටුවීම සදහා බැසිල්ගෙන් උපදෙස් ලැබිණි. ඒ සදහා අවශ්‍ය කරන ලිපි ගොනුවක්ද මන්ත‍්‍රිවරුන්ගේ අතට පත්කෙරිණි. ග‍්‍රාමීය කමිටු පිහිටුවීම සදහා ගම් මට්ටමින් කුඩා රැස්වීම් සංවිධානය කිරීමටත් වැඩිදුර උපදෙස් ලැබුණු අතර එම රැස්වීම් ඇමැතීම සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකු ලබාදීමටත් බැසිල් එකග විය. මූලික කරුණ සාකච්ඡා කරන අතරතුරේ පුංචි මන්ත‍්‍රීවරුන් වෙතින් නැගුණු දුක්ගැනවිලි, මැසිවිලි මෙන්ම ආණ්ඩුවට එරෙහිව එල්ල වූ විවේචන සහ චෝදනාවලටද සවන්දීමට මහින්දට සිදුවිය. කෙසේවෙතත් මාස ගණනක නියගය දුරුකරමින් කුරුණෑගලට සාමාන්‍ය මට්ටමේ වර්ෂාවක් ඇදහැලුණේ මෙම රැස්වීම පැවැත්වෙමින් තිබියදීය. අවස්ථාව ප‍්‍රයෝජනයට ගත් මහින්ද හිතවාදීන් විසින් මහින්දගේ කුරුණෑගල සම්ප‍්‍රාප්තිය හේතුවෙන් නියගය දුරු වී වැසි ලැබුණු බව කියමින් පිරිස් විසින් මුහුණුපොත හරහා ප‍්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කර තිබිණි. ඊට ප‍්‍රතිචාර දැක් වූ මහින්ද විරෝධීන් මුහුණුපොතට එක්කර තිබුණේ කුරුණෑගල ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය මහින්ද මාස ගණනාවකට පසුව කුරුණෑගලට පා තැබීම නිසා අකල් වැස්සක් ඇදවැටුණු බව කියමිනි.

එපා කියූ මහින්දම ආපසු සොයාගෙන ගිය මන්ත‍්‍රීවරු

නව පක්ෂයේ බිම් මට්ටම සකස්කිරීම වෙනුවෙන් පැවැති මෙම හමුව අතරේ කළ පව් සමාකරන්නට පැමිණ සිටි බව කියන පිරිසකුත් දැකගත හැකි විය. ඒ පසුගිය සමයේදී මහින්ද පිල අතහැර ගොස් මෛත‍්‍රී පිලට හේත්තුව දමාගෙන සිටි හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් පිරිසකි. ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරුන් වන ඒ. ආර්. එම්. වාජිබ් , ඉන්දික සේනාධිපති සහ ගාමිණී දිසානායක තිදෙනා එදින මහින්ද හමු වී තමන් නැවත මහින්ද සමග එක්වන බව ප‍්‍රකාශ කළහ. මීට මාස කිහිපයකට පෙරදී මන්ත‍්‍රී සාලින්ද සමග එක්ව මහින්ද පිලේ සාමාජිකයින් ලෙස කටයුතු කරමින් සිටි මෙම පිරිස මෛත‍්‍රී පිලේ සාමාජිකයින් බවට පත්වන්නේ හිරියාල නව ශ‍්‍රීලනිප සංවිධායක ලෙසට පළාත් සභා කමල් ඉන්දික පත්වීම් ලැබීමත් සමගිනි. නමුත් කමල් ඉන්දික සමග ආරම්භ කළ දීගය සිව් මසක් ගෙවෙන්නටත් පෙර කටු ගා දමා තිබූ ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරුන් වැඩි සද්ද බද්ද නැතිවම තමන්ගේ මහ ගෙදරටම නැවත පැමිණ තිබිණි. ඉතා කෙටි කලකින්ම දීගය බිදී යන්නට හේතු වූ නිශ්චිත හේතුවක් සොයාගත නොහැකි නමුත් ගෙවුණු එම මාස කිහිපය පුරා මෙම මන්ත‍්‍රීවරුන් මෛත‍්‍රී පිල වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ පෙනී සිටි අයවඵන්වීම විශේෂත්වයකි. විශේෂයෙන් කුරුණෑගලදී පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැට පස්වැනි සංවත්සරයට පිළිබදව මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත‍්‍රාවට එරෙහිව පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවන් ගණනාවකටම මෙම මන්ත‍්‍රී පිරිස වාඩි වී සිටියහ. ඉන් එක් ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු මන්ත‍්‍රී ගාමිණී දිසානායක දෑත් එකතු කර වදිමින් මහින්දගෙන් ඉල්ලා සිටියේ පක්ෂය දෙකඩ කැඞීමේ පාප කර්මය නොකරන ලෙසටය. එමෙන්ම වයඹ පළාත් සභා නිවාඩු නිකේතනයේදී පැවැති තවත් ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් අවසානයේදී ජනපති මෛත‍්‍රීට ජයපතමින් ඊට එක් වූ මන්ත‍්‍රීවරුන් දෑත් එකිනෙක පටලවාගෙන ඔසවාගෙන සිටින අයුරු දැක්වෙන සුවිසල් ඡායාරූප එම දිනවලදී පුවත්පත්වල පළ වූ අතර එහි ඉදිරිපෙළෙහිම හිටපු මන්ත‍්‍රී ඒ. ආර්. එම්. වාජිබ්ගේ රුවද කැපී පෙනෙන අයුරින් සටහන් වී තිබිණි. එවන් මෛත‍්‍රීවාදී ස්ථාවරයක සිටිමින් පසුගිය මාස කිහිපය පුරා මහින්දගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය විවේචනය කරමින් සිටි මෙම හිටපු මන්ත‍්‍රී පිරිසට ආපසු මහින්ද පිලටම සංක‍්‍රමණය වන්නට පාර කැපුවේ සැබැවින්ම වත්මන් ආණ්ඩුව පිළිබද කලකිරීමක්ද නැතහොත් පිටතට නොපෙනුණු වෙනත් ගැටුමක්දැයි තවමත් හෙළි වී නැත. කෙසේවෙතත් හිටපු මන්ත‍්‍රීවරුන්ගේ ආපසු ගමන සමග හිරියාල ශ‍්‍රිලනිප සංවිධායක කමල් ඉන්දිකද අසීරු අඩියකට ඇදවැටීම වැළැක්විය නොහැකිය. මන්ද ඉබ්බාගමුව ප‍්‍රාදේශිය සභාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මන්ත‍්‍රීවරුන්ගෙන් හරි අඩක් තම නායකත්වය යටතේ රදවාගනිමින් හිරියාල ආසනය තුළ මෛත‍්‍රී පිලේ සහ මහින්ද පිලේ බලය සමබර කරන්නට කමල් ඉන්දික එකල සමත් වී තිබිණි. හිටපු මන්ත‍්‍රී පිරිසගේ ගැලැවීයාමත් සමග අසමතුලිත වූ හිරියාලේ මෛත‍්‍රී පිලේ බලය යථා තත්වයට පත්කිරීමට නම් යළිත් මුල සිටම පටන්ගන්නට කමල් ඉන්දිකට බොහෝදුරට සිදුවනු ඇත. ( ගාමිණී දිසානායක, ඒ. ආර්. එම්. වාජිබ් සහ  ඉන්දික සේනාධිපති යන හිටපු මන්ත්‍රිවරුන් පසුගිය ජූලි මාසයේ පැවැති මාධ්‍ය හමුවකදී දැක් වූ අදහස් පහත වීඩියෝවෙන්  දැක්වෙයි )

සභානායක තනතුරේ වර්ෂ පූර්ණයට චින්තකගෙන් පාටියක්.

වයඹ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්ගෙන් බහුතරයක් පසුගිය බදාදා රාත‍්‍රියේ පුත්තලමට ගොස් තිබිණි. ඒ මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් එදින පුත්තලමේදී සංවිධානය වී තිබූ සුහද සාදයක් හේතුවෙනි. සාදය සූදානම් කර තිබුණේ වයඹ පළාත් සභාවේ සභානායක අමල් චින්තක මායාදුන්නේ විසිනි. චින්තක සභානායක තනතුරට පත් වී වසරක් පිරීමත්, ඔහුගේ උපන් දිනයත් අදාල සාදයට නිමිති වී තිබිණි. මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් සහ අසංක නවරත්න සාදයට පැමිණියේ මඩකලපුවේ සිටය. ඒ හිටපු ජනපති මහින්දගේ ප‍්‍රධානත්වයෙන් මඩලකලපුව මංගලාරාම විහාරස්ථානයේදී පැවැති උත්සවයකට සහභාගිවන්නට ඔවුන් ඊට පෙර දිනයේදී එහි ගොස් සිටීම හේතුවෙනි. එදිනට උපන් දිනය සමරන ඇමැති සුමල් තිසේරාට බර්ත්ඩේ රැග් එකක් දෙන්නට සමන්ප‍්‍රිය සහ අසංක පුත්තලම බලා එන අතරමගදීම කතිකාකර ගත්හ. ඒ අනුව නොච්චියාගම කඩයකට ගොඩ වූ දෙදෙනා රුපියල් හැටක් දී බටර් පාන් ගෙඩියකුත්, ඉටිපන්දමක් සහ ගිනි පෙට්ටියකුත් මිලදී ගෙන වාහනයට දමාගත්හ. මන්ත‍්‍රීවරුන් අතරින් චින්තකගේ සාදයට පළමුව ගොඩවැදුණේද සමන්ප‍්‍රිය සහ අසංක දෙදෙනාය. සුමල්ගේ බර්ත්ඩේ රැග් එකට සූදානම්වෙමින් සිටි මන්ත‍්‍රී දෙපළට සැලසුම මදක් වෙනස් කරන්නට සිදුවූයේ මන්ත‍්‍රීවරුන්ට අමතරව බාහිර පුද්ගලයින්ද සාදයට සහභාගිවන බව චින්තක විසින් දැනුම්දීමත්, සුමල් වැඩි වේලාවක් සාදයේ රැදී නොසිටින බවත් දැනගන්නට ලැබීම හේතුවෙනි. ඒ අනුව බටර් පාන් ගෙඩියේ ඉටිපන්දම ගසා සූදානම් කරගත් මන්ත‍්‍රීවරුන් දෙදෙනා සුමල් එනතුරු මග බලන්නට වූහ. වැඩි කාලයක් අපතේ නොයවාම ඇමති සුමල් එහි පැමිණි අතර අසංක සහ සමන්ප‍්‍රිය විසින් සුමල්ට උපන්දින කේක් ගෙඩිය කැපීමට ආරාධනා කළ අතර අසංක ඉදිරිපත් වී ඉටිපන්දම දල්වාදෙනු ලැබීය. අසංක සහ සමන්ප‍්‍රිය විසින් ‘‘හැපි බර්ත් ඬේ ටූ යු ඩියර් සුමල් ’’ යැයි ගයද්දී සුමල් විසින් උපන් දින කේක් ගෙඩිය හෙවත් බටර් පාන් ගෙඩිය කපනු ලැබීය. තමන්ට දුන් රැග් එකට පෙරළා ප‍්‍රතිචාර දක්වන්නට අවස්ථාවක් උදාකර ගත් සුමල් බටර් පාන් ගෙඩියෙන් කඩාගත් තරමක කැබැලි දෙකක් අසංක සහ සමන්ප‍්‍රියට ගිල්වන්නටද වගබලා ගත්තේය. තමා වෙනුවෙන් සූදානම් වී ඇති සාදයකට සහභාගිවන්නට ඇති බව කියමින් සුමල් එතැනින් නික්ම ගිය අතර මන්ත‍්‍රීවරුන් එකා දෙන්නා සාදයට ඇදී ආවේ ඉන් අනතුරුවය. මන්ත‍්‍රීවරුන්ට අමතරව රාජ්‍ය නිලධාරින් ඇතුලු චින්තකගේ හිත මිතුරන් පිරිසක්ද සාදයට ඇරයුම් ලබා තිබිණි. ආරාධිතයින්ගේ පැමිණීමත් සමග සාදය ආරම්භ වූ අතර ආහාරපාන ඇතුලු රස මසවුලෙන් පමණක් නොව සංගීත කණ්ඩායමක්ද සාදය රස ගැන්වූහ. චින්තක විසින් සාදය සදහා වයඹ පළාත් සභාව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් සියලුදෙනාටම පුද්ගලිකවම ආරාධනා කර තිබූ නමුත් සාදයට සහභාගි වූ මන්ත‍්‍රීවරුන්ගේ පැහැදිලි අඩුවක් දැකගත හැකි විය. විපක්ෂය පැත්තෙන් සාදයට සහභාගි වී සිටියේ මන්ත‍්‍රී මංජුල බණ්ඩාර සහ චිත‍්‍රාල් ප‍්‍රනාන්දු පමණි. සාදය සරුවෙමින් ඉදිරියට යද්දී මහ ඇමැති ධර්මසිරි දසනායක සංගීත කණ්ඩායම සමග එක් වී ගීත කිහිපයක්ම ගායනා කළ අතර අනතුරුව සභානායක චින්තකද ගී ගැයීමට එක් විය. දේශපාලන සහ ආගිය තොරතුරු ඇතුලු රසවත් කතාබස් මැද ගලාගෙන ගිය මායාදුන්නගේ සභානායක වර්ෂ පූර්ණ සාදය අවසන් වන විට මධ්‍යම රාත‍්‍රියද පසු වී තිබිණි.

උපුටාගැනීම- මව්බිම පුවත්පත,  2016 ඔක්තෝම්බර් 20 වැනි බ‍්‍රහස්පතින්දා 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article