Sunday, May 19, 2024

ගණිතයට ඌණ සාමාර්ථයක් ලැබුනාට වාරියපොල සිසුවියක් දිවි නසා ගනියි.

Must read

wariyapola_ol_death

අ.පො. ස. සාමාන්‍යපෙළ විභාගයේදී ගණිතය විෂයට ඌණ සාමාර්ථයක් ලැබීම හේතුවෙන් සිත් තැවුලට පත් පාසල් සිසුවියක, ගෙලවැළලාගෙන මියයාමේ අවාසනාවන්ත පුවතක් වාරියපොල  ප්‍රදේශයෙන්  අද  (29 දා) දහවල් වාර්තා විය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වාරියපොල ඥාණෝදය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ , නවාංජනා කවිදි ආරියරත්න නැමැති සිසුවියකි. වාරියපොල, කෙලිමුණේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන මෙම සිසුවිය ගණිතය විෂය සදහා පෙනී සිට ඇත්තේ දෙවැනිවරට බව ද වාර්තා වෙයි. සාමාන්‍යපෙළ ප්‍රතිඵල දැනගැනීම සදහා මෙම සිසුවිය අද උදෑසන ඥාණෝදය විද්‍යාලය වෙත ගොස් ඇති අතර එහිදී ගණිත විෂය සදහා තමන්ට ඌණ සාමාර්ථයක් ලැබී ඇති බව දැනගෙන ඇතැයි පොලිසිය කියයි. ඉන් සිත්තැවුලට පත් ඇය ආපසු නිවසට පැමිණ එහි කාමරයක් තුළදී ගෙළවැලලාගෙන ඇති බව ද පොලිසිය කියයි. සිසුවිය ගෙලවැළලා ගන්නා අවස්ථාව වනවිට නිවසේ කිසිවෙකුත් සිට නොමැති අතර ඉන් ටික වේලාවකට පසුව නිවසට පැමිණි ඇගේ මව්පියන් සිසුවිය එල්ලී සිටින අයුරු දැක තිබේ. සිසුවියගේ මව්පියන් විසින් ඇයව කඩිනමින් රෝහල වෙත ගෙනගොස් ඇති අතර රෝහලේදී ජීවිතක්ෂයට පත් වී තිබේ. වාරියපොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඊයේ රාත්‍රියේදී නිකුත් වූ අ.පො. ස. සාමාන්‍යපෙළ විභාග ප්‍රතිඵල මුල්කරගනිමින් සිදු වූ දෙවැනි සියදිවිහානි කරගැනීම මෙය වන අතර මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදීත් ශාන්තලිංගම් ආශියා නැමැති සිසුවියක අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් අද උදෑසන සියදිවි හානිකරගෙන තිබිණි.

සංස්කාරක සටහන,
ආදරණීය දුවේ, පුතේ !
ඕනෑම විභාගයක් යනු යමෙක් සිය ජීවිතයේදී මුහුණදෙන එක් කඩඉමක් පමණි. යම් විභාගයකින් කෙනෙකු අසමත් වූ පමණින් එය අදාල පුද්ගලයාගේ අනාගතය හෝ සමස්ත ජීවිතයම අදුරු කිරීමට හේතුවක් වනු ඇතැයි සිතීම මිත්‍යාවකි. විභාගයක් අසමත්වීම හරහා ඔබට යම් දොරටුවක් වැසෙන්නේ නම් ඒ සමගම තවත් දොරටු ගණනාවක් විවර වන බව ඔබ වටහා ගත යුතුය. ඔබ විසින් කළ යුත්තේ ඔබට වැසී ඇති දොරටුවට තඩි බානු වෙනුවට ඔබට විවර වී ඇති දොරටුවකින් ඔබේ අනාගතය දෙසට ගමන් කිරීමය. ඒ සදහා ඔබ විසින් පළමුවෙන්ම කළ යුත්තේ සමාජය විසින් ඔබේ මනස තුළ මවා ඇති “ආණ්ඩුවේ රස්සාවක්“ වැනි බොල් සිහිනයන්ගෙන් මෙන්ම දොස්තර, ඉංජිනේරු වැනි බර සිහිනයන්ගෙන්ද මිදී පියවි ලොවට පා තැබීමය. එවිට ඔබ තුළ සැගවී සිටින දක්ෂයා, එසේත් නැතිනම් වෘත්තිකයා තෝරාගැනීමට ඔබ පහසු වනු ඇත. උසස් විභාග ප්‍රතිඵලයකට කිසිදා නිර්මාණය කළ නොහැකි දක්ෂ ව්‍යවසායකයෙකු, දුලබ නිර්මාණකරුවෙකු, අතිශූර ශිල්පියෙකු හෝ වාර්තාගත ක්‍රීඩකයෙකු ඔබ තුළ සැගවී සිටින්නට වැඩි ඉඩක් තිබේ. ලෝකය වෙනස් කළ, ලෝකය ජයග්‍රහණය කළ බොහෝ මිනිසුන් ගැන ඔබට සිහියට නැගිය හැකි නම් ඔවුන්ගෙන් බහුතරයක් විභාගවලින් අසමත්වූවන් බව නොරහසකි. එබැවින් අවසන් වශයෙන් කිව යුත්තේ විභාගයක් යනු ඔබේ ජීවිතයේ සියල්ල තීරණය කරන සාධකයක් නොවන බවය. ඔබට පෙර විභාගවලින් අසමත්වූවන් සිය දිවි නසාගත්තේ නම් ලෝක ජනගහණයෙන් අඩකටත් වැඩි පිරිසක් අද ජීවතුන් අතර සිටින්නට හැකියාවක් නැත. මන්ද විභාගවලින් සමත්වූවන්ට වඩා විභාගවලින් අසමත්වූවන් මෙලොව ඉතා වැඩි බැවිනි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article